(යොහාන් භාසුර)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 16 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බොරතෙල් හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා සිවුවැනි වරට වසා දැමූ අතර ඒ අනුව මාස දෙකකට අධික කාලයකට පසු විවෘත කිරීම කැපී පෙනේ.  

මර්බන් නැමැති බොතෙල් මෙට්‍රික්ටොන් 90,000 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ටැංකිවලට ගොඩබෑම ආරම්භ කර ඇති බවත් තවත් බොතෙල් මෙටි්‍රක්ටොන් 90,000 ක් ආනයනයට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ඇති බවත් එම සංස්ථාව සඳහන් කරයි.

පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ පසු ඩීසල් මෙට්‍රික්ටොන් 1600 ක්, පෙට්‍රල් මෙට්‍රික්ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 950 ක්, දැවිතෙල් මෙට්‍රික්ටොන් 1450 ක් සහ නැප්තා මෙට්‍රික්ටොන් 450 ක් දෛනිකව නිකුත් කළ හැකි බවත් ඛනිජ තෙල් සංස්ථාව කියයි.