(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාව වෙසක් පොහොය නිමිත්තෙන් "ලස්සන" දන් දීමේ දන්සැලක් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ජාතික තරුණ සේවා සභා පරිශ්‍ර වලදී වෙසක් දා (30) දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

"ලස්සන දන්සල" ලෙස නම් කර ඇති මෙහිදී ජනතාවට නොමිලේ රූපලාවන්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ සේවාවන් ලබාදීම  සිදු කෙරෙන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

ජාතික තරුණ සේවා සභාව ඉකුත් වසරේ මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙම දන්සල සංවිධාන කළ අතර එහි සාර්ථකත්වය නිසා මේ වසරේ දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි "ලස්සන දන්සල" පවත්වන බව ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක නිලධාරී (ආවරණ) ශ්‍යාමලී ද සිල්වා මහත්මිය කීවාය.

කොණ්ඩය කැපීම, ඇහි බැම සැකසුම්, හිස සම්බාහනය, සමට ප්‍රතිකාර ඇතුළු රූපලාවන්‍ය සත්කාර  ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු වැඩසටහන් මගින් පුහුණුව ලැබූ තරුණ තරුණියන් අතින් මෙහිදී සිදු කෙරෙන බව ද ශ්‍යාමලී  මහත්මිය පැවසුවාය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සැලසුමකට අනුව මෙම දන්සල් මාලාව පැවැත්වෙයි.