(විමුක්ති එස් රුද්‍රිගු)

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීම සඳහා "ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්" නම් විශේෂ වගන්තියක් සාකච්ඡා මේසයට ගෙන ඒමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගැනීමට ආරම්භ කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දීර්ඝ වීම නිසාවෙන් අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද වීමේ අවදානමක් මතුව ඇති නිසා මෙසේ විශේෂ වගන්තියක් ගෙන ඒමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇතැයි පැවැසෙයි.

ශ්‍රී ලංකාවේ සියයට 52 ක ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණයකට හිමිකම් කියන චීනයට විශේෂ සැලකිල්ලක් ලැබේ වී යැයි අනෙකුත් ණය හිමියන්ට තිබෙන සැකය "ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්" නම් විශේෂ වගන්තිය මගින් දුරු වන බවත් එමගින් චීනයට පෙර ණය ප්‍රතිව්‍යුහගතකිරීමට එකඟ වෙන ණය හිමියන්ටද චීනයට ලැබෙන සැලකිල්ලම ලැබෙන බවට තහවුරු වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

එසේම ණය ප්‍රතිව්‍යුගතකිරීම ප්‍රමාද කිරීමෙන් තමන්ට වාසිදායක ගිවිසුමකට එළඹීමට හැකි වෙතැයි ඇතැම් ණය හිමියන්ට තිබෙන බලාපොරොත්තු නැති කිරීමටද මෙම විශේෂ වගන්තිය උපකාරී වන බව පැවැසෙයි.  

 "ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්" විශේෂ වගන්තිය ශ්‍රී ලංකාව ගෙන අවොත් චීනය සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියකදී මෙම වගන්තිය ගෙන ආ ප්‍රථම අවස්ථාවද මෙය වේ.