(අංජුල මහික වීරරත්න)

කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ජූනි 24, 25 සහ 26 යන තෙදින ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද තීරණය විය.

නිරිතදිග මෝසම් සමය හේතුවෙන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී මේ බව තීරණය විය.

එසේම ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටද, මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මඟින් ඩෙංගු මර්දන කටයුතු තව දුරටත් ශක්තිමත් කිරීමටද මෙහිදී තීරණය විය. මේ වන විට පාසල්, කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බැවින් එම ස්ථාන ආවරණය වන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

තවද වරින් වර ඇතිවන මෙවැනි ප්‍රවණතා මග හරවා ගැනීමට ගත යුතු දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පී. සී සුගීෂ්වර යන මහත්වරුද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික බෝවන රෝග විද්‍යායතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කොළඹ මහනගර සභාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ආදිය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.