
(අංජුල මහික වීරරත්න)
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර 77 වසරක ද්විපාර්ශ්වික සබඳතා මෙහිදී සිහිපත් කෙරුණු අතර, දෙරටේ සබඳතා වෙළෙඳ, ආරක්ෂක, ආයෝජන, සංචාරක සහ අන්‍යෝන්‍ය ජන සම්බන්ධතා වැනි ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ට බහුවිධ සහයෝගීතාවක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කෙරිණි.
එම ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ මෙහිදී සතුට පළ කළ ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම්වරයා එම සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන බවද සඳහන් කළේය.
මැදපෙරදිග පවතින තත්ත්වය මේ වන විට සාධනීය දිශාවකට ගමන් කරමින් තිබීමද මෙහිදී අවධානයට ලක් වූ අතර, ජූනි 19 වනදා එළැඹි සාම ගිවිසුම කලාපය තිරසර සාමය කරා ගෙන යනු ඇති බවටද දෙපාර්ශ්වයේම විශ්වාසය පළ කෙරිණි.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව අනුගමනය කළ මානුෂීය ප්‍රතිපත්තිය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ආපදාවට පත් නෞකා දෙක සඳහා නෛතික පදනම මත මානුෂීය සහන සැලසීමට කටයුතු කළ බවද සඳහන් කළේය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත් පියවර මෙහිදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය.
එමෙන්ම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව උපරිම සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd