(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන  විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත්  සමාගමෙන්  රුපියල් කෝටි 348 ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත්  මෙතෙක්  අය කරගෙන ඇත්තේ  රුපියල් කෝටි  පහක පමණ  මුදලක් පමණකැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) ඉකුත්11 වැනිදා  තොරතුරු අනාවරණය විය.


එම වන්දි මුදල අයකර ගැනීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ  අධිකාරිය  නිසි අයුරින් කටයුතු කර නැතැයි  පැවසූ  කෝප් කමිටුවේ  සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  ඒ  සම්බන්ධයෙන් එම අධිකාරියේ  ප්‍රධානින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.

මේ තොරතුරු අනාවරණය වූයේ මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන  විනාශයට පත්වූ  එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන්  වන්දි අය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා  සමුද්‍රීය පරිසර ආරක්ෂණ  අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා සිකුරාදා රැස්විය.

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සමග ගනුදෙනුවකට ගොස් පරිසර හානිය ලබා නොදී  ඒ සමාගමට  වාසි සහගත අයුරින් කටයුතු  කළ බවට තමා චෝදනා කළ හොත්  ඊට දෙන පිළිතුර  කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසූ අවස්ථාවේදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ   අධිකාරියේ  නිලධාරින් ඒ සම්බන්ධයෙන්  පැහැදිලි පිළිතුරක්ලබා දුන්නේ නැත.

මේ කටයුතුවලදී ආයතනයේ නීති නිලධාරිනිය   නිෂ්ක්‍රීයව සිටියේ ඇයි දැයි  කෝප් කමිටු සභාපතිවරයා ඉන් අනතුරුව  විමසා සිටියේය. එහිදී අදහස් දැක්වූ නීති නිලධාරිනිය මෙම නෞකාවට අදාළව  නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කිසිම සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බව පැවසුවාය.

නීති නිලධාරිනිය එම කටයුතු සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි දැයි කෝප් සභාපති චරිත හේරත් මහතා මෙහිදී විමසා සිටි අතර  ඊට පිළිතුරු ලබාදුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ  අධිකාරියේ  සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර  මහත්මිය පැවසුවේ  ආයතනයේ කටයුතුවලදී එම නිලධාරිනියගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන හෙයින්  ඒ  කටයුතු සඳහා දෙවැනි නිලධාරියකු පත් කිරීමට සිදුවූ බවයි.

එය පරිපාලනමය  වශයෙන් ගත් වැරදි තීන්දුවක් බව  කෝප් සභාපතිවරයා පැවසුවේය. මෙහිදී   වැඩිදුරටත් අදහස් දැක්වූ නීති නිලධාරිනිය   තමා අවුරුදු දහඅටක් තිස්සේ  ආයතනයේ නඩු කටයුතුවලට සම්බන්ධවී කටයුතු කර පළපුරුද්දක් ඇති නිලධාරිනියක බවයි.

එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ කටයුතු  ආයතනයේ නීති අංශයෙන් වසා සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බව  කෝප් කමිටු  සභාපතිවරයා  මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය.