(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයයේ විශේෂ කොටසට ඇතුළුවීමට ගිය හිටපු ඇමැති ඩයනා ගමගේ පරික්ෂා කිරීමට විරෝධය පා රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන්ට විරෝධය දක්වමින් රාජකාරියට බාධා කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ සඳහා එම ස්ථානයේ රාජකාරී සිදු කළ පොලිස් නිලධාරිනියක් ඇතුළු කීප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කෙසෙල්වත්ත පොලිසිය මගින් කටයුතු කරනු ඇතැයි එම නිලධාරියා කීය.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම විත්තිකාරියගේ නම ඩයනා ගමගේ යනුවෙන් නීත්‍යානුකූල ලෙස සංශෝධනය කර නොතිබියදී එම නම සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැවටීමේ අදහසින් අංක 4658 දරන කූට උප්පැන්න ලේඛනයක් පානදුරේදී හෝ කොළඹදී සකස් කිරීම ඒ සඳහා අනුබලදීම යන වැරදි සඳහා නඩු පවරා ඇත.

නයනා සමන්මලී හෙවත් ඩයනා නටාශා කැක‍ෙදුර හෙවත් ඩයනා ගමගේ නමැත්තිය 2004 වසරේ ඔක්තෝම්බර් මස නවවෙනි දින සහ දෙසැම්බර් මස පළවෙනි දින අතර කාලය තුළදී ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබිණි.

විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 32,102,457,හා 459 යන වගන්තිය යටතේ 2024 වසරේ ජූනි මස 06 වැනි දින චෝදනා ගොනුකර තිබිණි.

එකී නඩුව එදින පෙරවරුවේ විභාගයට ගෙන ඇති අතර ඇය අවසන් මොහොතේදී අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීම සඳහා පැමිණ කොස්තාපල්වරිය ඇයගේ බෑගය පරික්ෂා කිරීමට සූදානම් වීමේදී ඇය එයට විරෝධය දක්වා අධිකරණ ශාලාවට ඇතුළු වි තිබිණි.