(නිමන්ති රණසිංහ)

ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ලියකියැවිලි බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් ගෙන්වාගෙන විමර්ශන කඩිනම් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) නියෝග කළේය.

බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් මෙම වාර්ථා කැඳවීමේදී අධිකරණ අමාත්‍යාංශය මගින් ගෙන්වා ගැනීමටද අධිකරණය අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට නියම කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

සමගි ජන බලවේගය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ජනතාවගේ බදු මුදලින් යැපෙමින් සිටින මෙම තැනැත්තිය බි්‍රතාන්‍ය පුරවැසියෙකුව සිට මෙරට නිත්‍යානුකූල නොවන අයුරින් රැදී සිටින බැවින් ඇය වහාම අත්අංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.