(ඩයනා උදයංගනී)

ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ගායන ශිල්පිනියක, ටවර්හෝල් නූර්ති නාට්‍ය ශිල්පිනියක මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක වූ සූරියරාණි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

රූකඩ හඬ කැවීමේ ශිල්පිනියක ද වූ ඇය මියයන විට 81 වැනි වියෙහි පසුවූවාය.

ප්‍රකට ටවර්හෝල් රංගන ශිල්පීන් දෙපලක් වූ එල්.කේ සෝමකාන්තා සහ ටී විල්බට් පෙරේරාගේ වැඩිමහල් දියණිය වූ ඇය අභාවප්‍රාප්ත ගායන ශිල්පී ටී. ෂෙල්ටන් පෙරේරා මහතාගේ සහ රංගන ශිල්පිනියක මෙන්ම නිවේදිකාවන වන කුමාරි පෙරේරා මහත්මියගේ සොහොයුරිය ද වේ.

රංගන ශිල්පිනී කුසුම් පෙරේරා මහත්මියගේ මව ද වන සූරියරාණි පෙරේරා මහත්මිය ‘සාරවිට’, ‘දරු දුක’, ‘සැපත සොයා’, ‘වෙසතුරු සිරිත’, ‘සාරභූමි’ ඇතුළු චිත්‍රපට ගණනාවකට සහ ‘විදුර’, ‘සිවම්මා ධනපාල’, ‘වෙස්සන්තර’, ‘රොඩී කෙල්ල’, ‘අම්බපාලි’, ‘ශ්‍රී වික්‍රම’, ‘පද්මාවතී’ ඇතුළු ටවර් හෝල් නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූවාය.

ඇගේ දේහය බොරැල්ල සුප්‍රීම් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී  අනිද්දා (12) පස්වරු 3.00ට සිදුකෙරේ.