චීන ජනාධිපති ෂී ජින්පින් හෙට (23) දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඇමරිකාවට පැමිණෙයි. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරයුමකට අනුවය.

චීන ජනාධිපතිවරයා පිළිගැනීමට ධවල මන්දිරය සූදානම් බවත්, චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ඉතා ගාම්භීර පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර ඇති බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකාව සඑ චීනය අතරේ පවතින මත ගැටුම්, තීරුබදු, ආරත්ෂක කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, ඇමෙරිකා ඉරාන ගැටුම ගැනත්, රුසියන් යුක්රේන යුද්ධය ගැනත් ට්‍රම්ප් සහ ජින්පින් අතරේ සාකච්ඡා පැවැත්වෙනු ඇත.

රුසියන් යුක්රේන යුද්ධයේ දී චීනයේ කොන්දේසි විරහිත සහාය හිමිවන්නේ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පටින්ට වන අතර, ඉරානයට ද චීනයේ සහාය නොඅඩුව ලැබෙයි.

ඉකුත් මැයි මාසයේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් චීනයේ නිල සංචාරයක නියැලුණු අතර, එහිදී චීන ජනාධිපති ජින්පින් ප්‍රමුඛ රජයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ඇමෙරිකාවේ සංචාරයකට එන්නැයි ජනාධිපති ට්‍රම්ප්, චීන ජනාධිපතිවරයාට ඇරැයුම් කළේ එම අවස්ථාවේදීය.

‘ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සැමවිටම උත්සාහ ගන්නවා. දෙරටේ ජනතා​වගේ යහපත උදෙසා මත ගැටුම් සහ අර්බුද තිබුණත්, සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳා ගැනීමටත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමටත් චීනය සූදානම්.’ යැයි චීන ජනාධිපති ජින්පින්ගේ ඇමෙරිකන් සංචාරය සම්බන්ධයෙන් චීන විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.