(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (16) බාර දුන්නේය.

2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන මගින් ලබා දුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

මෙම 'ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030' ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව 2026 මැයි 4වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ පොදු එකඟතාවෙන් මෙම සැලැස්ම සකස් වී ඇත.