
(අංජුල මහික වීරරත්න)
මනුෂ්‍ය නිදහස, සාධාරණත්වය අගයමින් ජේසුස් වහන්සේ කළ මඟ පෙන්වීම යථාවත් කිරීමට රජයක් ලෙස කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නත්තල් දින සුබ පැතුම් පණිවිඩයෙන් කියයි.
ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති.
සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ.
උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරා ගත්තේද, දේව දූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන ආවේද එහෙයිනි. එහෙයින්, නත්තලේ යටි අරුත වනුයේ වාද බේද දුර ලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමගියෙන් හා සාමයෙන් කටයුතු කිරීමයි.
සාමයේ පණිවිඩය රැගෙන ආ නත්තල අප සමරනුයේ නත්තලේ සැබෑ අරුත වන සාමය විද්‍යාමාන වන පසුබිමක සිට වීම මෙහි ලා සඳහන් කරනුයේ හදමහත් ප්‍රීතියෙනි.
සියලු ජන කොටස් එකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමුහික වගකීමක් සේ සලකා දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු වූ අවස්ථාවකට අප එළැඹ ඇත්තෙමු. සාමයේ හා සමගියේ යදමින් බැඳි දේශයට උදාවන නව අරුණැල්ලක පහස විඳිමින් සිටින්නෙමු.
එම ප්‍රදීප්තය ජේසුස් වහන්සේ අප වෙත රැගෙන ආ ප්‍රේමයේ ඇරුණැල්ලමය. භේදයේ අඳුර දුර ලා සාමය රජයන සහෘදයින්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව අපි අත්දකිමු. මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් විය. එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස අප කැප වී සිටින්නෙමු.
වර්තමානයේ ශ්‍රී ලංකාවට අවැසි සමාජ පරිවර්තනය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසින් අවුරුදු 76කට පසුව සිදු වීමට නියමිත ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි. පුනරුදයකි. එම ජාතික පුනරුදය වෙනුවෙන් ඉමහත් කැපවීමකින්, ඉවසීමකින්, සංයමයකින්, අප්‍රතිහත ධෛර්යෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටින අප රජය වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් - ලස්සන් ජීවිතයක්” උදා කර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැප වන බව මෙම උතුම් නත්තලේදී මම යළි අවධාරණය කරමි.
ආත්මාර්ථකාමී හා අහිතකර තරගයට සමාජ පද්ධතිය විසින් බල කරනු ලැබ ඇතත්, නත්තලේදී ප්‍රකට කරන මානව ගුණාංග සිත් තුළ වර්ධනය කර ගනිමින්, සමානාත්මතාව ගරු කරමින්, අනෙකා පිළිබඳ හැඟීමෙන්, සහෝදරත්වය, සහජීවනය අගයමින්, ඒ සමාජ පද්ධතිය, යහපත් හා සතුටු දායක සමාජයක් කරා මෙහෙය වීමට සැවොම අත්වැල් බැඳ ගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණයයි. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කර ගනිමු.
ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා’යි ! ප්‍රාර්ථනා කරමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමාටත්, රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත්, ජේසු සමිඳු පිහිටෙන්, නත්තල සමග ආශීර්වාද වේවා...!
සමිදුන් පෙන්වූ මඟ යන්න කයිවාරු ගැසීමට කැපවී සිටිනවා
බොහොම හොඳයි. හැබැයි ජනාධිපතිතුමනි, පරෙස්සමින් ඔය කතාව අල්ලාගෙන ඔබතුමාත් බුද්ධාගම විනාශ කරන්න ආපු එන්.ජී.ඕ. කාරයෙක් කියලා හාමුදුරුවරු කෑ ගහලා යකා නටන්නත් ඉඩ තියෙනවා.
ලේ හොල්ලපු ආගම් පසුපස යන ලේ හොල්ලපු දේශපාලකයෝ. ගැලපෙනවා නියමෙට..!
බලයට පත්වුන හැම රාජ්‍ය නායකයෙක්ම කෙරුවේ කටින් බතල හිටවන එක තමයි. ඔබත් එහෙම නොවෙයි කියලා මම විශ්වාස කරනවා.
"ජේසු සමිද" කියපු වැඩ කරන්න නම් ඔයාලට කොහොමත් බෑ. අඩුගාණේ, ඔබ කියපු චන්දයට කලින් දේවල්වත් කරලා පෙන්නන්ඩකෝ