(අංජුල මහික වීරරත්න)

අධිකරණ විෂය පථය ගැන ජනාධිපතිවරයා උපදෙස් ගත්තා යැයි කියන ජ්‍යෙෂ්ඨයන් කවුදැයි නම් කළ යුතු බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයාට උපදෙස් දෙන එම ජ්‍යෙෂ්ඨයන් ප්‍රවීණයන් කවුදැයි දැන ගැනීමට කැමති බවද රාජපක්ෂ මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

"දැන් ජනාධිපතිවරයා පැහැදිලිවම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණයක් ගන්නවා.රටේ නීතිඥ සංගමය ඒකට විරුද්ධයි නම්, විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය මේ සංශෝධනයට විරුද්ධ නම් ජනාධිපතිවරයා ගන්න අවදානම ගැන මට නම් හිතාගන්න බෑ.

හැබැයි ඉතින් අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.