(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)

කුරියර් සේවා මුවාවෙන් කටුනායක සිට ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට මත්පෙති ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

නවක්කුලම හන්දියේදී සිදුකළ හදිසි රථවාහන පරීක්ෂාවකදී  යතුරුපැදියක් පරීක්ෂා කර ඇති අතර, එහි රියදුරු තමන් කුරියර් සේවාවක නියුතු අයකු බවත් කටුනායක සිට පැමිණෙන බවත් පවසා ඇත. අනතුරුව ඔහු රැගෙන ගිය භාණ්ඩ පිළිබඳ ඇති වූ සැකය මත පරීක්ෂා කිරීමේදී ඒවා නීතිවිරෝධී මත්පෙති බව අනාවරණය වී තිබේ.

පසුව සැකකරු මොරගොඩ පොලිස් ස්ථානයට රැගෙන ගොස් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමඟ සම්බන්ධව සිටි අනෙක් සැකකරු පිළිබඳව අනාවරණය කරගෙන ඇති අතර, අමුණුකොළ ප්‍රදේශයේදී ඔහුද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද එම සැකකරු සතුවද මත්පෙති තිබී සොයාගෙන තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගලෙන්බිඳුණුවැව  යකල්ල, පඩිකාරමඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණ තරුණියන්ගේ නම්වලට සකස් කරන ලද වෙන වෙනම මත්පෙති බහාලු පාර්සල් තිබී ඇත.

විශේෂත්වය වන්නේ මෙම කුරියර් සේවා ක්‍රමයට ප්‍රවාහනය කළ පාර්සල් තුළ මත්පෙති හැර වෙනත් කිසිදු භාණ්ඩයක් බෙදා හැරීම සඳහා මොවුන් ළඟ නොතිබීම බව පොලිසිය පවසයි.

මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් සතියකට වතාවක් ඔන්ලයින් (Online) හරහා සූක්ෂම අයුරින් ඕඩර් ලබාගෙන, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්වල තරුණ තරුණියන් වෙත කුරියර් සේවා මුවාවෙන් මෙම මත්පෙති පාර්සල් කර බෙදා හැරීමේ ජාවාරමක නිරත වී ඇති බවයි. එලෙස ප්‍රවාහනය කරන ලද මුළු මත්පෙති ප්‍රමාණය 1,570කි.