(අංජුල මහික වීරරත්න)

කෘත්‍රිම  බුද්ධිය යොදාගනිමින් ජනපතිගේ හා අගමැතිනියගේ වීඩියෝ සකස්කර මුදල් වංචා සඳහා ඒවා භාවිත කරන අවස්ථා ගැන පැමිණි ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එන් බොරු වීඩියෝ වලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සංසදය කියයි. ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනී  හරිනි අමරසූරිය මෙනෙවිය හා සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් කිහිපදෙනෙක්ගේ රුව සහිත දර්ශන කෘත්‍රිම බුද්ධිය(AI තාක්ෂණය) යොදාගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනයට ලැබුණු පැමිණිලිවල සදහන් වේ.                           

Deep fake තාක්ෂණය යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කල මෙම වීඩියෝ හරහා මුදල් වංචා කිරීමේ උත්සහායක් ක්‍රියාත්මක බවද එම පැමිණිලිවල සදහන් වේ.  මුදල් ආයෝජනය කර මාසිකව ප්‍රතිලාභ ලබා ගන්නැයි ජනාධිපති සහ අගමැතිනිය ඇතුළු විශේෂ පුද්ගලයන් ඉල්ලීම් කරන ආකාරයෙන් සකස් කර ඇති එම ව්‍යාජ වීඩියෝ පිළිබදව ශ්‍රී ලංකා සර්ට් ආයතනය ජනතාවට දන්වා සිටී. එවන් ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝ සදහා ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ගේ සහ විශේෂ පුද්ගලයන්ගේ  රුව වංචනිකව යොදාගෙන තිබේ.

මෙයට අමතරව විවිධ ආයෝජන  අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් ලෙසද මෙම නිර්මාණයන් සිදු කර ඇත. 

මෙම ව්‍යාජ විඩියෝ  අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරෙමින් තිබෙන අතර එහි පලවන සබැඳියට (link) ගොස් මුදල් ආයෝජනය කර ප්‍රතිලාභ ලබාගන්නා ලෙසද  එම පණිවිඩයෙන් ඉල්ලා සිටින බවත් සර්ට්  ආයතනය සදහන් කර සිටින අතර එසේ link එකක් හරහා අන්තර්ජාල පරිශීලකයන් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරවා පුද්ගලික තොරතුරු සහ මුදල්ද සොරාගෙන ඇති අවස්ථා පැවතිය හැකි බව සදහන් කර සිටී. එවන් තත්ත්වයක් මත අන්තර්ජාලය තුල පවතින මෙවන් ව්‍යාජ  විඩීයෝ පිළිබදව සැලකිලිමත් වන ලෙස සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

එම link වෙත යොමු වී ඔබගේ වටිනා දත්ත වංචනිකයන් අතට පත් නොකරන ලෙසත් මෙවැනි අසත්‍ය පුවත් සහ වංචාවන්ට ගොදුරු නොවන ලෙසත් ශ්‍රී ලංකා CERT ආයතනය සියලුදෙනාගෙන් ඉල්ලා සිටී.