(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලූම ඇමැතිවරුන් පැමිණෙන්නේ  ජනාධිපතිවරයා එනදාට පමණක් හෙයින් ඔහුට  හැමදාම මේ සභාවට එන ලෙස  මේනිසා දැනුම් දීමට සිදුවන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

කතානායකවරයා මෙසේ පැවසූවේ ගෑස් සිලින්ඩර පුපුරා  යෑමේ සිද්ධීන් සම්බන්ධයෙන්  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන  සංවිධායකවරයාගේ දෙපැත්තේ ඉදිරිපෙළ ඇමතිවරුන් කිසිම කෙනෙකු මේ අවස්ථාවේදී සභාවේ  නැති හෙයින්  ඒ පිළිබඳව අවධානය යොමුකරන බවද
හෙතෙම සඳහන් කළේය.

මෙවැනි ප්‍රශ්න ඇතිවූ විට  ඒවාට පිළිතුරු දීමට  මෙතන සිටින සියලුම දෙනා බැඳී සිටින බවත් මෙහි කිසිවකු සාමූහික වගකීමෙන් ඉවත් නොවිය යුතු බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.