ඩුබියි හි සංචාරයක නිරතව සිටින ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා  ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් මහතා අතර හමුවක්  ඩුබායි හි එක්ස්පෝ -2020  (EXPO – 2020) ප්‍රදර්ශන භූමියේ දී සිදුවිය.

මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙපොළ සඳහන් කළහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50වන ජාතික දින සැමරුම වෙනුවෙන් සුබ පැතීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් ගත්තේය

කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා, ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාව දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාවය ලොවට රැගෙන යාමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වන බව පැවසූ ජනාධිපතිපති ඊට අවස්ථාව ලබාදෙමින් දැක්වූ සහායට සිය ස්තූතිය පිරිනැමීය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය අනුව “එක්ස්පෝ 2020” ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

අක්කර 1083ක කාන්තාර බිමක පැවැත්වෙන “එක්ස්පෝ” ප්‍රදර්ශනය සඳහා රටවල් 192ක් සහභාගී වී සිටී. “සිත් සම්බන්ධ කිරීම, අනාගතය නිර්මාණය කිරීම” යන ආදර්ශ පාඨය යටතේ ඔක්තෝබර් මස පළමුවැනිදා ඇරඹි ප්‍රදර්ශනය ලබන මාර්තු 31 වනදා දක්වා පැවැත්වේ. ප්‍රදර්ශනය නැරඹීමට මේ වන විට ලොව පුරා රටවල් රැසකින් මිලියන 03කට අධික පිරිසක් පැමිණ ඇති බව සංවිධායකයෝ පවසති.