මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා අඛණ්ඩව කටයුතු කිරීමට එකඟ වීම සම්බන්ධයෙන් නව අධිපතිවරයා ලෙස තමන් ඉමහත් සතුටට පත්වන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත.

ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.

ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස මටත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. 

( 055)