
(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය හරි මගට ගෙන ජනතාවට ජීවත්වන්නට රටක් ඉතිරි කරන්නැයි කියමින් එක්සත් ජාතික පක්ෂය ගාල්ලේ දී අද (25) උද්ඝෝෂණයක් කළේය.
"නොවෙනස් යකඩ ප්‍රතිපත්ති රාමුවකින් ජන ජීවිත ගොඩ නගමු ,69 ලක්ෂයේ ජනවරමට පයින් ගැසූ ආණ්ඩුවට එරෙහි වෙමු"යන තේමාවෙන් ගාල්ල බස් නැවතුම්පොළේ දී උද්ඝෝෂණය පැවැත්විණි.
කොළඹ සහ ගාල්ල දෙසින් පෙළපාලි දෙකකින් ගාල්ල නගරයට පැමිණි උද්ඝෝෂකයෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණය කළහ.
"ජනතාවනි මේ අහන්න, ආර්ථිකය හසුරුවන්න, මුළු ලෝකෙම දන්න කියන, රනිල් එක්ක එකතු වෙන්න."
තේ එළවළු වී ගොවියට ,කෘමිනාශක බෙහෙත් දියව්, සාගතයක් ළඟා නොකර, මහ කන්නේ පොහොර දියව්" ආදී විරෝධතා වැකි කියමින් "විනාශ වූ වගාවන්ට වහා වන්දි දියව්" "රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කරනු"ජනතාව බඩගින්නේ ආණ්ඩුව මර නින්දේ" ආදී පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
උද්ඝෝෂණයට පැමිණි ජනතාව නිසා ගාල්ල නගරයේ කොළඹ දෙසට යන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.
දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව පොදු ජනතාවගේ හදගැස්ම යන මැයෙන් එක්සත් ජාතික පක්ෂය රට පුරාම උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට නියමිත අතර ඊයේ ගාල්ලේ දී පැවැත්වුණේ එහි පළමු උද්ඝෝෂණයයි.
උද්ඝෝෂණයෙන් පසු පැවැති උද්ඝෝෂණ රැළියේ දී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.
අද අපට තියෙන්නේ හිඟාකන ආණ්ඩුවක් .ජනාධිපති ගැසට් ගසා රිවස් කරනවා.මුලින්ම රසායන පොහොර තහනම් කර ගැසට් ගැසුවා.පසුව ඒ ගැසට් එක රිවස් කළත් දැන් ගොවි ජනතාවට පොහොර නැහැ.ඔවුන්ගේ වගා දැඩි ලෙස හානියට පත් වී තිබෙනවා. ජනතාවට ගෑස් ලිපක් පත්තු කර ගන්නට විදියක් නැහැ.දැන් ජනතාවට දර ලිපෙන් උයන්නට සිදුවී තිබෙනවා.
අනෙක් පැත්තෙන් විදුලිය කපනවා .රට පසුපසට හෙවත් ගල් යුගයට ගමන් කරන්නට පටන්ගෙන තිබෙනවා. මිනිස්සුන්ට සල්ලි නැහැ . කන්න නැහැ. ඉන්ධන නැහැ .මේ මොන රටක්ද? ආණ්ඩුවෙන් යම් දෙයක් සිදුවේ යැයි ජනතාව බලාපොරොත්තු වුවත් ඒ කිසිවක් ඉටු වුණේ නැහැ .
ආහාර උද්ධමනය වැඩිම රටවල් 15 අතර ලංකාව සිටිනවා.එම රටවල් අතුරින් ලංකාව සිටින්නේ දොළොස් වැනි ස්ථානයේයි .සිරියාව, සිම්බාබ්බේ සහ ලෙබනනය අපට ඉදිරියෙන් සිටිනවා .මේ අර්බුද නිසා තරුණ තරුණියන් රට හැර වෙනත් රටවලට යනවා .මේ දුක උරුම කළේ රාජපක්ෂ පාලනයයි.
ඡායාරූප : ප්‍රදීප් පතිරණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ කාලේ රටේ ආර්ථිකය විතරක් නෙවෙයි ආරක්ෂාවත් බින්දුවට වට්ටපු අය දැන් විකාර කියවනවා.
සූ ගාලා සෙනග. ඔයා ඉතින් 2015 ඉඳන් කරලා 2020 පැරදිච්ච අයනේ...
ඔයාලගේ ලොක්කා කුඹුරු අක්කර ලක්ෂයක් ගොඩකරන්න යෝජනා කරපු වෙලාවේදී උද්ගෝෂණය කලාද.?
2005 රනිල් චන්දේ දින්නානම් සිංහල ජනතාවට රටක් හඳෙන් ගෙන්න වෙනවා ජීවත් වෙන්න.