(අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට හසු කරගෙන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය මුළු ශක්තියම යොදවා ඇතැයිද ජාත්‍යන්තරයෙන්ද ලැබෙන පුර්ණ සහයෝගය ප්‍රයෝජනයට ගෙන ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම විනාශ කර දමන බවට සහතික වන්නේයැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) පැවැසීය.
අනතුර තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති හෙයින් විමසිලිමත්ව හා ඉවසිලිමත්ව ක්‍රියා කිරීමට සියළු දෙනා වගබලා ගත යුතුව ඇතැයිද ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට සහය විය යුතුයැයිද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
පාස්කු ඉරිදාවේ අප මුහුණ පෑ ත්‍රස්ත ප්‍රහාරයේ කම්පනය හා කම්පාව තවමත් පහව ගිහින් නෑ. මේ අමානුෂික ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන්ගේ අරමුණ වුණේ අපේ රට ලේ විලක් බවට පත් කරලීමයි. නමුත් අපේම ජන කොටස් අතර ගැටුම් ඇතිවීමට ඉඩ නොදී නීතිය හා සාමය ආරක්‍ෂා කර ගැනීමට අප සියළු දෙනාම සමත් වුණා.
අපේ කාදිනල් තුමා, ප්‍රමුඛ කිතුනු නායකයින්, මහානායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය, ඉස්ලාම් හා හින්දු ආගමික ප්‍රධානීන්, සිවිල් සංවිධාන, ග්‍රාමීය නායකයින් සියල්ල මුළු ලංකාව පුරාම සාමය හා සංහිඳියාව ආරක්‍ෂා කිරීමට කැපවුණා. මුස්ලිම් ජනතාව සාමය වෙනුවෙන් කටයුතු කළා. පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ වෙත ජනතාව පූර්ණ සහය ලබා දුන්නා.
මුලින්ම ඒ සියලූ දෙනා වෙත මගේ ගෞරවනීය ස්තුතිය පළ කරන්නට කැමතියි.
අපේ සහෝදර සහෝදරියන්, දූ දරුවන් ගණනාවක් මේ ප්‍රහාරයෙන් අපට අහිමි වුණා. විදේශිකයන් ගණනාවකගේ ජීවිතත් අහිමි වුණා. මේ සමහර විදේශිකයන් අපේ රටට ආදරයෙන් උදව් උපකාර ලබා දීමට පැමිණි අය. තවත් සමහරු අපේ රටේ සුන්දරත්වය දැක බලා ගැනීමට පැමිණි අය. දැනට සිදුවී ඇති ජීවිත හානි පිළිබඳව සංඛ්‍යා ලේඛන තහවුරු කෙරෙමින් පවතිනවා. ජීවිත අහිමි වූ සියළු දෙනා වෙනුවෙන් ජාතියම දුක් වෙනවා. කම්පා වෙනවා. මේ වන විට 149 දෙනෙක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඔවුන් සියල්ලන්ට අප ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
අවමගුල් කටයුතු හා ජීවිත හානි සඳහා මුලින්ම රුපියල් ලක්‍ෂයක මුදලකුත්, අනතුරුව වන්දියක් වශයෙන් තවත් ලක්‍ෂ නවයක මුදලකුත් ලබා දීමට රජය තීරණය කළා. අපිට අහිමි වුණු ජීවිතවල වටිනාකම මුදල් වලින් මනින්නට බෑ. නමුත් මේ අවස්ථාවේ කිසියම් සහයක් හා සහනයක් ලෙස මේ මුදල අප ලබා දෙනවා.
හානියට පත් දේවස්ථාන තුන යළි ප්‍රතිසංස්කරණය කිරීමට ද රජය පියවර ගන්නවා. ඒ වගේම යළිත් සාමාන්‍ය පරිදි දේවස්ථානවල දේව මෙහෙය පැවැත්වීම සම්බන්ධයෙන් අපේ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සමග මමත්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමාත්, ආරක්‍ෂක අංශ ප්‍රධානීනුත් සාකච්ඡා කළා. අවශ්‍ය පූර්ණ ආරක්‍ෂාව ලබා දෙමින් සියළු ආගමික කටයුතු යථා පරිදි පැවැත්වීමේ පසුබිම අප සකස් කරමින් සිටිනවා.
ප්‍රහාරය සිදුවී කෙටි කාලයක් තුළ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට අපේ ආරක්‍ෂක අංශ සමත් වුණා. පරීක්‍ෂණවල ප්‍රගතිය ගැන අපට දැනට සෑහීමකට පත් වෙන්නට පුළුවන්. දැනට ප්‍රසිද්ධියේ හෙළි කරන්නට පුළුවන් කරුණු අනුව මේ ප්‍රහාරය සෑහෙන කාලයක් තිස්සේ සැලසුම් කළ එකක්. ඉතා සීරුවට සැලසුම් කළ එකක්. මනාව සැලසුම් කළ එකක්. මෙවැනි කාර්යයක් කිරීම සඳහා අනිවාර්යයෙන්ම විදේශ සහයෝගයක් හා දැනුමක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ කීප දෙනෙක් විදේශ රටවලට ගොස් ඇති බවට තොරතුරු අපට ලැබී තියෙනවා. මෙවැනි පසුබිමක් මත අප විදේශීය සහයෝගය හා විශේෂඥ උපදෙස් ලබා ගත යුතු වෙනවා.
මේ කණ්ඩායම සිය ප්‍රහාර ආරම්භ කළේ මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීමෙන්. දෙවනුව ඔවුන් ඔත්තු සැපයූවා යැයි චෝදනා කරමින් අපේ ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකුට වෙඩි තිව්වා. ඒ ලේකම්වරයා මුස්ලිම් ජාතිකයෙක්. දැන් ඔවුන් කිතුනුවන් සිය ඉලක්කය කර ගෙන තියෙනවා.
මේ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ ඉතා සුළු කණ්ඩායමක්. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් හා පුපුරණ ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තියෙනවා. තවත් සුළු ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගත යුතුව තියෙනවා. ඒ නිසා අනතුර තාමත් සම්පූර්ණයෙන්ම පහව ගිහින් නෑ. ඒ නිසා ඉතාම විමසිලිමත්ව හා ඉවසිලිමත්ව ක්‍රියා කිරීමට අපි සියළු දෙනා වගබලා ගනිමු. ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට සහය වෙමු.
දැන් මම තවත් විශේෂ කරුණක් සඳහා ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.
මේ ප්‍රහාරයට සම්බන්ධ වූ දේශීය සංවිධාන හා පුද්ගලයන් පිළිබඳව බුද්ධි අංශ වාර්තා අවස්ථා ගණනාවක දී ලැබී තිබුණා. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විදේශීය බුද්ධි අංශ වාර්තා කර තිබුණා.
ඒ සමහර වැදගත් තොරතුරු මා වෙත ලැබී නොතිබුණු බව ඇත්ත. නමුත් එසේ කියා මම වගකීමෙන් ගැලවීමට ක්‍රියා කරන්නේ නෑ.
මම රටේ අගමැති හැටියට මේ සාමූහික වගකීම බාර ගන්නවා. රජයක් හැටියට සිදුවූ මේ දුර්වලතාවය පිළිබදව මම අවංකව ම අපේ ජනතාව වෙත කණගාටුව පළ කරනවා.
නමුත් කණගාටුව පළ කිරීම පමණක් සෑහෙන්නේ නෑ. අප මෙවැනි අඩුපාඩු අනාගතයේ සිදු නොවීමට වගබලා ගත යුතුයි. මෙවැනි දුර්වලතා වළක්වාලීමට පියවර ගත යුතුයි. ජන ජීවිතය සුරක්‍ෂිත කිරීමට කැපවිය යුතුයි.
මම ඒ වෙනුවෙන් වග වෙනවා. කැපවෙනවා.
මේ ත්‍රස්තවාදයට ජාත්‍යන්තරයත් ඈඳී තියෙනවා. මෙය සාමාන්‍ය ත්‍රස්තවාදයක් නෙවෙයි. දෘෂ්ටිවාදී ත්‍රස්තවාදයක්. ලෝකයේ රටවල් ගණනාවක සිටින අන්තවාදී අදහස් දරන අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධාන සමග මේ ප්‍රහාරයන් සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා.
මේ වන විට ගෝලීය ත්‍රස්තවාදය ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, මාලදිවයින වැනි අසල්වැසි ආසියානු රටවල විවිධ මට්ටමේ සාහසික ක්‍රියා සිදු කර තියෙනවා.
ඒ නිසා මේ ගෝලීය ත්‍රස්තවාදය දුරු කිරීම දේශීය වශයෙන් පමණක් කරන්නට බැහැ. බෝම්බය පුපුරන්නේ ලංකාවේ වුණත්, දුරස්ථ පාලකය වෙනත් රටක තියෙන්න පුළුවන්. සැලසුම් තවත් රටක හදන්න පුළුවන්. පුහුණුව වෙනත් රටක ලබා දෙනවා වෙන්න පුළුවන්. තවත් රටක දී ත්‍රස්තවාදීන්ගේ මොළ සෝදන්න පුළුවන්. ඒ නිසා මේ සියළු පාර්ශවයන් විනාශ කිරීමෙන් තොරව ගෝලීය ත්‍රස්තවාදය අතුගා දැමිය නොහැකියි.
ඒ නිසා අසත්‍ය ප්‍රචාරවලට, කටකතා වලට කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීම මේ අවස්ථාවේ ඉතාම වැදගත් වෙනවා.
මෙවැනි සිද්ධීන්ට මුහුණ දුන් රටවල් සිය අභ්‍යන්තර නීති පද්ධතියේ වෙනස්කම් සිදු කළා. ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දිය හැකි අන්දමේ අලූත් නීති හඳුන්වා දුන්නා. නමුත් එවැනි සිද්ධීන්ට මුහුණ නොදුන් රටවල් ඒ ගැන අවධානයක් යොමු කළේ නෑ.
ත්‍රස්තවාදයට අනුබල දීම සම්බන්ධයෙන් අපේ රටේ ඇත්තේ ඉතා පටු නිර්වචනයක්. ඒ නිසා මෙවැනි අවස්ථාවලදී දැඩිව ක්‍රියාත්මක වීමට තරම් නීතිය ශක්තිමත් නෑ. අප ඒ නිර්වචනය ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට හැකි වන පරිද්දෙන් පුළුල් කළ යුතුයි. අනුබල දෙන අය අත්අඩංගුවට ගැනීමට හැකි වන අයුරින් පමණක් නොව ඔවුන්ගේ දේපළ සියල්ල රාජසන්තක කළ හැකි අන්දමේ නීති ගෙන ආ යුතුයි. ඒ වගේම අන්තවාදී ආගමික අධ්‍යාපනය පිළිබඳවත් අපේ දැඩි සැලකිල්ල යොමු කළ යුතුයි. එවැනි අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ දැඩි නීති සම්පාදනය කළ යුතුයි.
ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර කිහිපයක් සම්බන්ධ වගන්ති අප ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත් කෙටුම්පතට ඇතුළත් කර තිබුණා. තවත් වගන්ති ගණනාවක් සංශෝධන අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුණා. නමුත් මේ නව නීති තවමත් සම්මත කරගෙන නෑ.
ඒ විතරක් මදි. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ඍජු සම්බන්ධයක් නැති නමුත් එවැනි අදහස් දරන සීමාවක සිටින අය පුනරුත්ථාපනය කරලීමේ වැඩ පිලිවෙලකුත් සකස් කළ යුතුයි. කිසිදු අවි ආයුධයක් භාවිත නොකර වාහන පමණක් පාවිච්චි කර ගනිමින් ත්‍රස්ත ක්‍රියා සිදු කළ අවස්ථාවන් එංගලන්තයෙන් අපට දැනගන්නට ලැබුණා. එවැනි අත්දැකීම් ඇති රටවල සහය අපට අවශ්‍ය වෙන්නේ ඒ නිස යි.
මේක අසීරු අභියෝගයක්. නමුත් සාමය අගයන අපේ රටේ ජනතාවගේත්, ලොව සියළු රාජ්‍යයන්ගෙත්, පූර්ණ සහය ලබා ගෙන මේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට අප පියවර ගන්නා බවට මම ඔබට සහතික වෙනවා. දැනටමත් බොහෝ රටවල රාජ්‍ය නායකයන් අපට සහයෝගය පළ කර තිබෙනවා.
මේ සතිය පුරා අපේ පූර්ණ අවධානය යොමු වුණේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්. රජය මුළු ශක්තියම යෙදවූයේ ආරක්‍ෂාව තහවුරු කරලීමේ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් නීතියට හසු කරගැනීමේ ක්‍රියාවලියට පදනම දැමීම සඳහායි. ඊළඟ සතියේ සිට රටේ ආර්ථිකය යළි නැංවීමේ වෑයමට මුල පුරන්නට අපට සිදුවෙනවා.
මේ ත්‍රස්ත ක්‍රියාව නිසා රටේ ආර්ථිකයට වැදුනේ මරු පහරක්. ලොතරැයි වෙළෙන්දාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා සියළු දෙනාම විශාල පසුබෑමකට ලක්වුණා. සංචාරක ව්‍යාපාරය අඩපණ වුණා. මේ නිසා දැනට දළ වශයෙන් ගණන් බලා ඇති අන්දමට රටට ඩොලර් මිලියන දහසක පමණ පාඩුවක් සිදු වෙනවා. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්. එය බරපතල තත්වයක්. ඒ නිසා ආර්ථිකය යළි නංවාලීමේ සටනත් අප ජය ගත යුතුයි.
අද අත්සන් කෙරුණු අමෙරිකානු එක්සත් ජනපද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සංවර්ධන ගිවිසුම නිසා මේ ආර්ථික සටනට යම් පිටිවහලක් ලැබෙනවා. එමගින් අපට සංවර්ධන වැඩ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආධාරයක් ලැබෙනවා.
අපි විවිධ භාෂා කතා කරන අය වෙන්න පුළුවන්. විවිධ ආගම් පිළිපදින අය වෙන්න පුළුවන්. විවිධ ජනවර්ගවලට අයත් අය වෙන්න පුළුවන්. හැබැයි අප සියලූ දෙනාම ලක් මාතාවගේ දරුවන්. ඉතින් එක මවකගේ දරුවන් ලෙසින් මේ අවස්ථාවේ එකට එක්වී සිටීමට අධිෂ්ඨාන කර ගනිමු. මෛත්‍රිය, මුදිතාව, කරුණාව සහ උපේක්ඛාව පතුරවමු.
මේ අසීරු අවස්ථාවෙන් රට ගොඩට ගෙන ඉදිරියට යාමට හැකි වන්නේ එවිටයි. තවත් එක් දුෂ්කර අවස්ථාවකට මුහුණ දී සිටින අපත්, අපේ රටත්, අපේ දරුවන්ගේ අනාගතයත් සුරක්‍ෂිත කිරීමට ඉවසීමෙන්, සහයෝගයෙන් කටයුතු කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අපේ සූත්තර පුංචාට වැසිකිළි යන්නත් ජාත්‍යන්තර සහය අවශ්යමනේ... ලැජ්ජයි හැමදාම කලේ මොන ක්‍රමයකින් හෝ අහක ඉන්න කපටින්ව කෝට් කබාය අස්සේ දා ගන්නමනේ.. එහි ප්‍රතිඵල මේ මුළු ලෝකෙම දැනුම තියෙනවයි කියන අයට තේරෙනකොට අපේ රට තවත් ලිබියාවක්, ඉරාකයක් හෝ සිරියාවක් වෙලා අවසානයි. මාමණ්ඩිගේ වලට මිනිසුන් හෙන ඉල්ලනවා වගේ පණපිටින්ම මිනිසුන් හෙන ඉල්ලනවා.. එළියට පහළට යනකොට හොඳ අකුණු සන්නායකයක් බටහිරින්ම ගෙනැල්ලා ඔලුගෙඩිය උඩින්ම හයිකර ගන්නවා.. නැතිනම් කුඹුරේ හතර මායිම බලන්න යන්නවත් බැරිවෙයි හොඳේ.
මේ මහත්තයා කට පරෙස්සම් කරගෙන කතා කලොත් වටිනවා. එයා කියන වචනයක් වචනයක් වෙන් වෙන් වශයෙන් අරගෙන වෙනත් ජාතියේ අර්ථ කථන බෙදාහරින විශාල කණ්ඩායමක් දැනට ඉන්නා බව පෙනෙන නිසයි එහෙම කියන්නේ. ඒ එක්කෙනෙක්වත් මෙයාගේ ගුණයක් නම් පෙන්වන්නේ නැහැ. සේරගේම වුවමනාව මෙයාගේ රීරි මාශ ගිලගන්න කියලත් පෙනෙනවා. කටින් පිටවුන වචනයක් අලි, ඇත්තු දාලවත් ආපහු අදින්න බැරි කතාවකුත් තියෙනවනේ... රෝයල් එකේ ඒ වගේ කතා කියලා දෙන්න නැතුව ඇති.
මට නම් ඔය සංහිඳියාව කියන වචනයත් ජාත්‍යන්තර සහයෝගය කියන දෙකත් ඇහෙන කොටත් දකින කොටත් ඔලුවෙ කැක්කුමක් එනවා.
ඔය සහාය කලින් ගත්තනම් තමුන්ගෙන් පස්සේ පක්ෂේ නායකකමටත් කෙනෙක් හදාගන්න තිබුණනේ...
ඡන්දෙකට නොයා හින් නූලෙන් ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බැලුවට වැඩේ හරිගියේ නැහැ නේද?
මේ මහත්තයට ඉතින් කෝකටත් ජාත්‍යන්තර සහය අවශ්‍යයිනේ.
ජාත්‍යන්තර සහය ගන්න කලින් හිර ගෙවල් වල ඉන්න අපේ රණවිරුවෝ නිදහස් කරන්න. තැන් තැන් වලට අනුයුක්ත කරලා ඉන්න බුද්ධි අංශ නිලධාරීන් නැවත බුද්ධි අංශයට යොමු කරන්න. ඊට පසුව ඔවුන්ට අවශ්‍ය බලය ලබා දෙන්න. ජාත්‍යන්තරෙටත් පාඩම් ඉගෙන ගන්න අපේ කොල්ලෝ ගේම ගහයි.
ගිය ආණ්ඩුවේ හොරු ඇල්ලුවා වගේද?
කිසිම දෙයක් කරන්න ඕන නැහැ. රට නැති කරන්න ඕනෑ ඔක්කොම කළා. තවත් රට විනාශ කරන්නේ නැතුව ගෙදර යන්න...
අපේ හමුදාව කොටි එක්ක යුද්දත් නිම කලා අවුරුදු 3න්. හරියට බලතල දුන්නොත් මාස 6න් වැඩේ ඉවරවේවි
ජනතාව අසරණ වෙලා ඉන්නේ පාරේ බැහැල යන්නත් නැහැ.
මේකේ මේ ජාත්‍යන්තර සහය ගැන වෛරයෙන් තරහෙන් අදහස් දමා ඇති දේශීය සරම් ඇඳ කුරහන් තලප කා වෙලේ වැඩ කරන ජනතාව ගැන පුදුමත් හිතුණා ප්‍රමාණය දැකලා. ඒ වුණාට ඇත්තටම මොවුන් ඇඳගෙන ඉන්නේ සුද්දගේ කලිසම, යන්නේ ඉන්දියාවේ බස් එකේ, අරාබියේ වැඩ, අඩුගානේ මේක කියවන්නෙත් චීනේ හදපු ටෙලිෆෝන් එකෙන් පරිගණකයෙන්, කන්නේ ඇමරිකා තිරිඟු පිටි පාන් රොටි , හැබැයි කටේ තියෙන්නෙම ජාත්‍යන්තර වෛරය. ගෝලීයකරණයෙන් තොර ලෝකයක් නැති බවවත් මේ මැටි ගොබ්බයින්ට ඉස්සෙල්ලම උගන්නලා ඉඳිමු..
කරන්න පුළුවන් ලොකුම උදව්ව පක්ෂේ නායකකමට කව්රුහරි පත්කරගන්න ඉඩ දීලා, එ්කෙන් අස්වෙලා ඔය බටහිර රටක තානාපතිකමක් ඉල්ලගෙන එහෙටම වෙලා ඉන්න එක...
ජාත්‍යන්තර මොනවටද? දේශපාලන ඇඟිලි ගැසීම්, බලපෑම් නැත්නං, මේ රටේ බුද්ධි අංශයටත්, ආරක්‍ෂක අංශයටත් මේවා ලොකු දෙයක් නොවේ.
කාටවත් බැනලා වැඩක් නැහැ මේක ආරක්ෂව පිළිබද ප්‍රශ්නයක්. දේශපාලනය මේකට ගාවගන්න එපා අපි විපක්ෂය හැටියට රජයට සහය දෙන්න ඕන මෙවෙලාවේ. මොනවා කරන්න උනත් අපිට රටක් තියෙන්න ඕන
ඔබට හැම දේම ජාත්‍යන්තරය සමග. මේ රටේ කියල දෙයක් කරන්න, නිර්මාණය කරන්න අදහසක් එන්නෙම නැද්ද?
ජාත්‍යන්තර සහාය..? පිස්සු කතා නොකියා ඉන්න. ජාත්‍යන්තර - මහා ප්‍රබල රටවල් තමයි ඔය අයිසිස් සංවිධානය හැදුවේ. රුසියාවේ තෙල් නල ව්‍යාපෘතිය විනාශ කරන්න. රටවල් 3යි. එකෙක් ලෝකෙටම ලොක්කා කියා කියා ඉන්න.. එ්ත් ගිය ගිය තැන ගුටිකන රට, අනිකා අරාබි රටවල ලොක්කා කියාගන්න මෝඩයා. අනිකා මේ ලෝකේ ඉන්න නොම්මර එකේ ත්රස්තවාදියා. මොවුන් තිදෙනාගෙන් 1 සහ 3 රටවල් ඉතා සමීප සම්බන්ධයක් තියෙනවා. 3වෙනියා මොන ජරා වැඩේ කළත් 1වෙනියා එක්සත් ජාතීන්ගේදීත් බේරා ගන්නවා. 2 වෙනියා අරාබි කාරයා 1 වෙනි රටට බයයි. ඒ වගේම 1 වෙනි රට කියන කියන දේවල්වලට හා කියනවා. ඒ වගේමයි පිටතින් 2 සහ 3වෙනියා සතුරන් ලෙස පිටතට පෙනී සිටින්නේ. නමුත් ඇත්ත නම් 2 සහ3 අතර අතීතයේදී විවාහයන් පවා සිදුවෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් 2 අරාබි කාරයාගේ රටේ තියෙන ලොකුම ආගමික ස්ථානය වක්‍රව ආරක්‍ෂා කරන්නෙත් 3 වෙනියගේ ලොකුම ඔත්තු සේවය විසින්. මේ තිදෙනා එකතුවෙලා හදපු අයිසිස් ත්රස්තයෝ එක එක රටවල් විනාශ කළා. ඒ මේ 3 දෙනාගේ ඉල්ලීමට... උදාහරණයක් වශයෙන් සිරියාව. අපේ අගමැති කියන්නේ බටහිර ගැති රූකඩයක්. මෙයාට දැන් ආපසු හැරෙන්න බැහැ. ඒ නිසා දිගටම මිනිසුන් රවටනවා.
"දුරස්ථ පාලකය තියෙන රට "... ඒක තමයි ඔබගේ හොඳම මිතුරා. ඔබගේ අන්කල්ගේත් හිතවත්ම මිතුරා.. ලජ්ජා නැතිව මේවා කියනවනේ.
රනිල් ත්‍රස්තවාදය විනාශ කිරීමට ත්රස්තවාදීන් විනාශ කල යුතුය. ඔබට මේ ත්රස්තවාදීන් විනාශ කිරීමට 2009 තිබුණාට වඩා විශේෂ ක්‍රමයක් තිබෙනවාද?
සිංහල මිනිසුන්ට මේ තරම් හානියක් වෙලත් බොහොම සැහැල්ලුවෙන් කතා කරනවා.
දැන් ඉතින් තවටයා ගෙදර යන්න. අනාගතේ තියන ටිකත් ඉතුරු කරලා...