(විමුක්ති එස් රුද්‍රිගූ)

ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු නව රෙගුලාසි සම්බන්ධයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කළ බව යුරෝපා සංගමය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.

එම අවස්ථාවේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දීී ඇති ජී.එස්.පී ප්ලස් සහනය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් ස්තුතිය පළ කළ බවත් වර්තමාන ජී.එස්.පී ප්ලස් සහනයේ කාලය අවසන් වූ පසු නැවත වරක් ශ්‍රී ලංකාව එම සහනය සඳහා අයැදුම් කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් දැනුම් දුන් බවත් එම නිවේදනයේ දැක්වේ.

මෙරටට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමේදී ඉටුකිරීමට පොරොන්දු වූ කැපවීම් කාලානුරූපීව ඉටු කිරීමේ වැදගත්කම එහිදී ශ්‍රී ලංකා බලධාරීන්ට පෙන්වා දුන් බවද යුරෝපා සංගමය පැවසුවේය.

එම කැපවීම් අතරට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව ත්‍රස්ත විරෝධී නීතියක් සම්පාදනය කිරීමද තිබෙන බව එම සංගමය ප්‍රකාශ කළේය.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් දිරිමත් කළ බවද යුරෝපා සංගමය පැවසුවේය.

එහිදී ජී.එස්.පී ප්ලස් සහනය මෙරටට ලබාදීමේදී ක්‍රියාත්මක කිරීමට එකඟ වූ ජාත්‍යන්තර සම්මුතින් 27 ක් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බව ශ්‍රී ලංකාව නැවත වරක් අවධාරණය කළේ යැයි එම සංගමය ප්‍රකාශ කළේය.

නිතිපතා යාවත්කාලීන කිරීම් ලබාදීමට එහිදී ශ්‍රී ලංකා බලධාරීන් දිරිමත් කළ බවද යුරෝපා සංගමය පැවසුවේය.