(විමුක්ති එස් රුද්‍රිගු)

ව්‍යාජ භික්ෂු හැදුනුම්පතක් සමග අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහි වූ සිවුරක් දරාගත් සැකකරුවකු සහ ඔහුට මත් ද්‍රව්‍ය මිල දී ගෙනවිත් දුන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි.

එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස 39  හැවිරිදි සැකකරු 2015 දී තමන්  එඬේරමුල්ලේ සෝමාලෝක නමින් පැවැදි වී ඇතැයි පවසා ඇති අතර ඔහුට මත්ද්‍රව්‍ය මිල දී ගෙනවිත් දුන් සගයාද වයස 52 ක එඩේරමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

මෙම සැකකරු මාස 7 ක පමණ කාලයක සිට පිණ්ඩ පාතයේ ගොස් ලැබෙන භාණ්ඩ විකුණා මත්ද්‍රව්‍ය සදහා මුදල් එකතු කර ඇති අතර එම මුදල්වලින් මිලදී ගන්නා මත්ද්‍රව්‍ය පානය කර තම බිරිඳට සහ දරු දෙදෙනාට හිරිහැර කරන බවට තොරුතුරු ලැබී ඇති අතර සහ මොහුගේ සගයාද මොහු සමග මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ අයෙක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව එඩේරමුල්ල පොලිසිය කියයි.

කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි එඩේරමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  ,අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුදේශ් අසංක ,පොලිස් සැරයන් 49579 ශාන්ත ,පොලිස් කොස්තාපල් 66584ජගත් ,82109 සංජීව ,78652 ප්‍රසාද් යන මහත්වරු  සැකකරු අත්අඩංගුවට ගත්හ.