(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ගෑස් සිද්ධි ගැන  අදාල පාර්ශව කැඳවා  සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව  අද (30) දිනයේ  කැඳවන්නැයි  අදාළ  රාජ්‍ය ඇමැතිවරයාට දැනුම් දෙන බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

සියලුම පාර්ශව ඒ සඳහා කැඳවන්නැයිද කතානායකවරයා දැනුම් දුන්නේය.

ඔහු මෙසේ පැවසූවේ  ගෑස් අනතුරු සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසූවේ  සාමාජික සහ සාමාජික නොවන මන්ත්‍රීවරුන්ටද  මේ කමිටුව සඳහා ආරාධනා කරන බවයි.

මෙයට අමතරව අදාල ආයතනද මෙම කමිටුවට කැඳවන බව පැවසූ හෙතෙම මෙම ගැටලුව විසඳීමට තමා සූදානම් බවද ප්‍රකාශ කළේය.

ගෑස්  සාම්පල සම්බන්ධයෙන් තමාට වාර්තා කිහිපයක් අද හෙටම ලැබීමට නියමිත බවත් එම සියලුම වාර්තා මොරටුව විශ්ව විශ්වවිද්‍යාලයට යොමු කර ඔවුන්ගේ මතය විමසීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

විපක්ෂය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීම තමා අගය කරන බව පැවසූ ඒ මහතා එවිට තමන්ට  මේ සම්බන්ධයෙන් සූදානම් වීමට හැකියාව ලැබෙන බවද  සඳහන් කළේය.

එම පරීක්ෂණ වාර්තා සියල්ල හෙට හෝ අනිද්දා මේ සභාවට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

මේ අතර රටේ කිසිම ප්‍රදේශයක ගෑස් සිලින්ඩර පිපිරීමක් සිදුවී නැති බව  තොරතුරු වාර්තාවී ඇතැයිද  අලගියවන්න මහතා මෙහිදී පැවැසීය.