(අංජුල මහික වීරරත්න)

වී මිලදී ගැනීම ඇතුළු ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගොවි ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නමුත් ඒ කටයුතු කඩාකප්පල් කරන අයකු ආණ්ඩුවේ  සිටින බව ද සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අතරතුර දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12)කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර අනිද්දා (13)දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී තමා ගොවි ගැටලු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් එහිදී ද විසඳුමක් නොලැබුණ හොත් ගොවි ගැටලු විසඳීමට කර අරින ආණ්ඩුවේ ප්‍රබලයාගේ නම හෙළි කරන බවත් සඳහන් කළේය.