(නිමන්ති රණසිංහ)

ගල්කිස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක ඇතුලු කාන්තාවන් පිරිසක් ලිංගික කටයුතු සඳහා වෙළෙදාම් කර කෙටිකලකදී රුපියල් කෝටි 4කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සිද්ධියේ තැරැව්කරු, ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (22) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වාද්දුව පදිංචි විතානගේ රජීව් රවිනාත් ජයසිංහ නැමැත්තාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.

ගල්කිස්ස ප්‍රදේශයේ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක ගණීකා සේවයේ යොදවීමේ සිද්ධියකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බව ද අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව  අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

මෙම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ අදාළ බාලවයස්කාර දැරිය සහ තවත් කාන්තාවන් කුට්ටනය සහ තැනැත්තන් වෙළෙදාම සිදුකරමන් නිතිවිරෝධී ආකාරයෙන් මෙම මුදල් සහ දේපල උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බැවින් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සැකකරු ඉකුත් 2006 වර්ෂයේ සිට බැංකු ගිණුම් 08ක් මගින් රුපියල් හාරකෝටි පනස්හය ලක්ෂ අසූ එක්දහස් නවසිය අටක මුදලක් සංසරණය කර ඇති අතර වෙනත් අයගේ නමින් වාහන කිහිපයක් ද මිලදී ගෙන ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, එම දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, එහි සහකාර පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න යන නිලධාරින්ගේ උපදෙස් මත එම කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක මෙත්සිරි මධුසංඛ, පොලිස් කොස්තාපල්වරුන් වන (97250) දිසානායක, (93008) බණ්ඩාර යන නිලධාරීහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.