ඩයනා උදයංගනී) ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. නැගෙනහිර, උතුරු, උතුරුමැද, සබරගමුව, දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.