(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) ආරම්භ වනවාත් සමඟම නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුව තුළ බෙදාහැර ඇති පොතක් සම්බන්ධයෙන් ගැටලුවක් ඉදිරිපත් ක‍ළේය.

ඒ ගංජා සම්බන්ධ පොතක් පෙන්වමින් එය පාර්ලිමේන්තු නිලධාරීන් හට බෙදා ඇති බව කියමිනි.

“මම ඊයේ මේ සභාවේ ගංජා සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. අද පොතක් බෙදලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට නෙමේ. පාර්ලිමේන්තුව ඇතුළේ නිලධාරීන්ට. මේ පොත ත්‍රෛලෝකපත්‍ර කියලා තියෙනවා. මේකේ ඇතුලේ නෝට් එකක් දාලා තියෙනවා ආනන්දය ලබන්න කියලා, මේ කියන්නේ පාර්ලිමේන්තු නිලධාරීන්ට ගංජා ගහන්න කියලද? මේක ඇතුළට ආවේ කොහොමද? සීසීටීවී බලලා මේක හොයන්න”
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මේ පිළිබඳ සොයා බලන බවයි.

සිය නම සඳහන් කළ  බැවින් සභාවේ නැගී සිටි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියා සිටියේ මෙය තම පොතක් නොවන බවත් පොත පත ලියන අප වැනි අය සිටියත් කිසිදු පොතක් තමා විසින් පාර්ලිමේන්තුවේ බෙදා නැති බවත්ය.

මහලේකම්වරයාගෙන් හා වේත්‍රධාරීගෙන් මේ පිළිබඳ සොයා බලන මෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.