(රෝෂන් තුෂාර)

කුලී ගමනක් යන මුවාවෙන් කාර් රථයකට ගොඩ වී රියදුරුට මරණීය තර්ජන කර   සන්තකයේ තිබූ රුපියල් 38500.00 මුදලක් පැහැර ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (01) නියෝග කළේය.

සැකකරු ලබන 09 දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙසටද , මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වැලිකඩ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ අතර මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙසටද නියෝග කර ලබන  09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කළේය.