අනීෂා මානගේ

කොළඹ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රීක්ක අතර බස් රථ ධාවනයට අඟහරුවාදා (26) දින සිට අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අඟුණකොළපෑලැස්ස නිවෙසේදී මාධ්‍ය වෙත අද අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.

'අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රදේශවල බස් ධාවනය අවසර ලැබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවලට මෙන්ම පෞද්ගලික බස් රථවලටත් අවශ්‍ය සියලුම උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශ ලබා දෙන විදි විධාන අනුව බස් රථ ධාවනය කරන්න අවසර ලැබෙනවා. ආසන ගණනට වඩා මගීන් ප්‍රවාහනය කරන්න අවසර දෙන්න බැහැ. අනාගතයේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ මෙම ක්‍රමයමයි.

බස් රථ මදි නම් අපි ගෙන්වනවා. ධාවනය කරන්නෙ නැති බස් රථත් අපි යොදවනවා. හැම මගියකුටම අයිතියක් තිබෙනවා බස් රථයකට නැග්ගාම වාඩිවෙලා යන්න. අපි ලබා දෙන්නේ ඒ අයිතියයි. කිසිදු ගාස්තු වැඩිවීමකටත් අපි ඉඩ ලබා දෙන්නෙ නැහැ.
දුම්රිය ගමනාගමනයේදී පෙර පරිදිම ලියාපදිංචි වූ අයට ප්‍රමුඛතාව ලබා දෙනවා. අනෙක් අයටත් පොදුවේ ගමන් කරන්න අවස්ථාව හිමිවෙනවා. ආසන ගණනට පමණක් මගීන්ට ගමන් කිරීමේ අවස්ථාව හිමිවෙනවා'