(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත අංක 257 / B හී පදිංචි කුරුප්පු අච්චිගේ චන්ද්‍රසෝම නමැති ( 65 ) හැවිරිදි පුද්ගලකු බව පොලිසිය කියයි.

උගුරේ ඇති වූ පිළිකා රෝගයක් හේතුවෙන් මීට මාස 3ක පමණ සිට මෙම රෝගියා කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ උගුර කන නාසය රෝගීන් සදහා ප්‍රතිකාර කරන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පැවසේ.

සිව් වන මහලේ රැඳී සිටි මෙම රෝගියා 14 දා අලුයම 5.30 පමණ එම වාට්ටුවේ නේවාසික රෝගීන් සඳහා ආහාර ගැනීමට වෙන් කර ඇති ස්ථානයට පැමිණ එහි සවිකර ඇති ජනේල් කවුළුවකින්  බිමට පනින්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මේ බව රෝහල් සේවකයන් දැක ඒ බව රෝහල් පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ  මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණි.