(තුසිත කුමාර ද සිල්වා)
කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ඡන්ද මධ්‍යස්ථානය වන කළුකන්දාව ඡන්ද මධ්‍යස්ථානය වෙනුවෙන් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකර ඡන්දය පැවැත්වීමට කටයුතු කරන බව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් එස්. ත්‍රීමාන්න මහතා කීවේය.
කළුතර දිස්ත්‍රික් ලේකම්, තේරීම්බාර නිලධාරී යූ.ඩී.සී. ජයලාල් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගන්නා බව ද ඒ මහතා කීය.
සිංහරාජ වනාන්තරය මැද පිහිටා ඇති පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුකන්දාවේ ලියාපදිංචි ඡන්ද ගණන 52 කි. දකුණු පළාත සහ බස්නාහිර පළාතේ මායිමේ පිහිටි කළුකන්දාව, දෙණිහේන, මන්නවත්ත යන ගම්මාන තුනේ පදිංචි පවුල් 20 ක ඡන්ද දායකයින් වෙනුවෙන් මෙම ඡන්ද මධ්‍යස්ථානය පවත්වනු ලබයි.
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට කිලෝමීටර් 35 ක් පමණ දුරින් පිහිටි කළුකන්දාව ගම්මානයට ළඟාවීමට කලවාන - මතුගම මාර්ගයේ අත්වැල්තොට හන්දියේ සිට කිලෝමීටර් 18 ක දුරක් අති දුෂ්කර මාර්ගයක ගමන් කළ යුතුවේ.
කිසිම පොදු ප්‍රවාහන සේවයක් හෝ සාමාන්‍ය වාහනයක් යාමට නොහැකි මෙම මාර්ගයේ කිලෝමීටර 18 ක් දුර ගෙවු පසු කළුකන්දාව ගම්මානය හමුවේ. මෙම ගම්මානයේ කිසිදු පොදු ගොඩනැගිල්ලක් නොමැත. ගම්මානයට තිබු එකම කුඩා පාසලද මීට දශක දෙකකට පමණ පෙර වැසීයාමත් සමඟ සෑම මැතිවරණයකදී ම ඡන්ද මධ්‍යස්ථානය සඳහා තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සිදුවන බව නිලධාරීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙනවද කියලා ඇහැක් ඇරලා බැලුවේ නැති පැතිවල ඡන්දෙට සියළු පහසුකම් දෙන්න පුළුවන්... ලැජ්ජයිනේ හැම ආණ්ඩුවක්ම ඉස්කෝල වැහිලා යනකල් ඉඳලා කතිරෙ ගන්න දඟලන දැඟලිල්ල...