(ශාන්ත චන්ද්‍රසිරි)

කඳපොල, හයිෆොරස්ට්   නගරයට  කඩා වැදුණු කුළු  මී හරකෙකු වෙළෙඳසැලක් අසල සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට ඇනීමෙන් බරපතල තුවාල ලැබූ ඒම පුද්ගලයා රෝහල්ගත කර ඇතැයි හයිෆොරස්ට්  පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ හයිෆොරස්ට්, අංක තුන ප්‍රදේශයේ පදිංචිව සිටි  84 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු එම ප්‍රදේශයේ ජීවත් වු වයස්ගතම පුද්ගලයා බව හයිෆොරස්ට්  නගර වැසියෝ පවසති.

තුවාල ලබා වැටී සිටි  පුද්ගලයා ප්‍රතිකාර සඳහා කඩිනමින් හයිෆොරස්ට්  ග්‍රාමීය රෝහලට ඇතුලත්   කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා  නුවරඑළිය මහ රෝහලට මාරු කොට යවා තිබේ.

බිංගන්තලාව ප්‍රදේශයේ කැළෑවක සිට මෙම කුළු හරකා හයිෆොරස්ට්  නගරයට කඩා වදින්නට  ඇති බවත්, ඉන් අනතුරුව නගරයේ ඒ මේ අත  දිව යමින් සිටියදී මෙම වයෝවෘද්ධ පුද්ගලයා දැක ඔහු අසලට දිව ගොස් එක දිගට බිම වැටෙන තුරු ඇණීමට පටන් ගත්  බව එම නගර වැසියෝ  පවසති.