(අංජුල මහික වීරරත්න)

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා" තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබ සාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද (12)  වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි  සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අතරින් අද (12) වන විට අයදුම්පත් 624, 714ක්  පද්ධතියට ඇතුළත් කර ඇති අතර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකක මඟින් සියලුම අයදුම්පත් පද්ධතියට ඇතුළත් කිරීම කඩිනමින් සිදු කෙරේ.

මෙම වැඩසටහන සඳහා වන නියමු ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර ජනතාව විශාල උනන්දුවකින් ඊට එක්ව සිටී බවත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.  

මේ වන විට සුබ සාධක ප්‍රතිලාභ ලබන හෝ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් මිලියන 3.3ට අමතරව, කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් හා ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ අලුතින් අඩු ආදායම්ලාභී තත්ත්වයට පත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තා කර ඇති පවුල් ලක්ෂ 06ක්ද මේ සඳහා අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙම සමාජ සුබ සාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

මෙම වැඩසටහන යටතේ  අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 39ක්  සුබසාධක ප්‍රතිලාභ ලැබීමට නියමිතව ඇත.

 අදියර 06ක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු පියවර අතරතුර දෙවනි පියවරද ක්‍රියාත්මක වෙමින් පවතින අතර ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක් රැස් කිරීම මීලඟ පියවර බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි. 

සමෘද්ධිලාභීන්, වැඩිහිටි, ආබාධිත ,වකුගඩු රෝගී ලෙස මේ වන විටත් සුභසාධක ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම අලුතින් සුබ සාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන් මේ සඳහා ලියාපදිංචි විය යුතුව ඇත.