(මුදිතා දයානන්ද) 
කොවිඩ් වසංගත සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කෝටි 4.389 ක් වැය කර මිලදී ගත් ආරක්ෂිත ඇඳුම් (PPE set) 5000ක් හා ඇස් ආවරණ(safety goggles)  10200ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගබඩාවල පවතින බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
වීෂ බීජවලින් ආරක්ෂා වීමට භාවිතා කරන ආරක්ෂිත ඇස් ආවරණ වෙනුවට සංස්ථාව මිලදි ගෙන තිබෙන්නේ පිහිනුම් සඳහා භාවිතා කරන ඇස් ආවරණ (Swimming goggles.) බවද එම වාර්තාවේ සඳහන් වේ. 
අලුත් කට්ටල ඇණවුම් කරන විටත් වෛද්‍ය සැපයුම් අංශය ඉල්ලා සිටි ආරක්ෂිත ඇඳුම් කට්ටල 4997ක් ගබඩාවල පැවති බවද හිගව තිබුනේ කට්ටල තුනක් පමණක් බවද එහි සඳහන් වේ. 
විගණන වාර්තාවේ දැක්වෙන පරිදි ආරක්ෂිත ඇස් ආවරණ යැයි කෝටි 1.427ක් වැය කර මිලදි ගත් පිහිනුම් ඇස් ආවරණ 10,200න් 54ක් පමණක් අලෙවි කර ඇති අතර දෙසීයක් අස්ථාන ගතව ඇත. සංස්ථාව මෙම ඇස් ආවරණ මිලදී ගෙන තිබෙන්නේ නැවත අලෙවිය සඳහාය. 
එම වාර්තාවට අනුව වෛද්‍ය සැපයුම් අංශයේ ඉල්ලීම පරිදි ආරක්ෂිත ඇඳුම් කට්ටල 5000ක් මිලදි ගැනීමේද් සංස්ථාව ඊට අදාල පිරිවිතර සකස් කිරිමක්, මිල කැඳවීමක් මෙන්ම තාක්ෂණක ඇගයීමක් සිදු නොකර කෝටි 2.49ක් වැය කරමින් සියලු කට්ටල අවස්ථා දෙකකදී එක් සැපයුම්කරුවෙකුගෙන් මිලදි ගෙන ඇත.
පළමුව මිලදී ගත් කට්ටල 2000 සංස්ථාව විසින් වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමුකර තිබුණද එහි තිබෙන්නේ ආරක්ෂිත ඇඳුම (Isolation gown)  පමණක් බව සඳහන් කරමින් එම තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එසේ තිබියදී සංස්ථාව එම සැපයුම්කරුගෙන්ම 3000කි න් යුත් දෙවන තොගයද මිලදි ගෙන තිබේ. 
මෙම තොග සියල්ලම 2021 වසර අවසන් වන විටද ගබඩාවල ඉතිරිව පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.