(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිතයේ ගස් කපා වනාන්තර එළිපෙහෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) අභියාචනාධිකරණයට පොරොන්දු විය.
මේ සම්බන්ධව ගොනු කර ඇති පෙත්සමේ විභාගය අවසන් වනතුරු මෙම පොරොන්දුව බලපාන බවද වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට කියාසිටියේය.
කල්ලාරු රක්ෂිතයේ ඇතැම් ප්‍රදේශ එළිකිරීම් සහ නීතිවිරෝධී අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් ගොනු කර ඇති පෙත්සමක් අද (22) යළි විභාගයට ගත් අවස්ථාවේදී වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා මෙසේ දැනුම් දුන්නේය.
ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කියාසිටියේ මෙම නඩුවට පාදක වන රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා එළිකිරීමට ඉඩ නොදෙන බවට වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලිඛිත පොරොන්දුවක් අධිකරණය හමුවේ කර ඇති බවයි.
අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන ලබන 31 වනදා සිදුකිරීමට අධිකරණය නියම කළේය.
මෙහිදී පෙත්සම්කරු අධිකරණයට දන්වා සිටියේ විල්පත්තු ජාතික වනාන්තර කලාපයට මීටර් 400ක් පමණ ආසන්නයේ පිහිටි මරිච්චුකට්ටු, කල්ලාරු වනාන්තරයේ ඇතැම් ප්‍රදේශ කිසියම් පිරිසක් විසින් එළි කර එහි අනවසර ඉදිකිරීම් රැසක් කරමින් තිබෙන බවයි.
වන සංරක්ෂණ පනතේ තුන් වන වගන්තියට අනුව මේ ආකාරයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එම වරදට වරදකරු වන පුද්ගලයකුට වසර පහක් දක්වා සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාවක් පවතින පෙත්සමෙන් පෙන්වා දී තිබේ. එබැවින් අදාළ වනාන්තර කලාපය එළිකර අනවසර ඉදිකිරීම්, තහනම් කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සම පළමුව අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. නමුත් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් ඉවත් වීම හේතුවෙන් මෙම පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා තීන්දු කළේය.
ඒ අනුව ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් විභාගය යළි පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන රක්ෂණ අධ්‍යක්ෂක තුමා වනය රකින්නේ උසාවියෙන් කිව්වම විතර නම්, ඔය රස්සාව අත ඇරලා ඒ වැඩෙත් උසාවියටම බාර දෙන්න මහත්තයෝ... තමන්ගේ වගකීම ඉටු නොකරන මිනිසුන් මොටද රටකට...?
රක්ෂිතයේ අක්කර 6000ක් සිලාවතුර පැත්තෙන් කජු වවන්න කියලා සිවිල් ආරක්ෂක බලකායට දීපු එක ගැන කවුරුවත් කතාකරන්නේ නැත්තේ ඇයි?
ඒ කියන්නේ කල්ලරු වනය එළිකරන්නේ වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනු දැනුම කැමැත්ත උඩ ද? එහෙමනම් මෙයා වන විනාශක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස නම් කරමු. මෙයාගේ අනුදැනුම ඇතිව හෝ නොමැතිව වනය එලි කරන්නේ කව්ද?
එතකොට සිංහරාජෙට කරන අපරාධ, සිරිපා රක්ෂිතයේ කරන වන සංහාරය මෙව්වටත් උසාවියෙන් නියෝගයක් දෙනකල්ද බලන් ඉන්නේ? උසාවියෙන් පරිසරය සුරකින්න වෙලා නම් මොකටද පරිසර අධිකාරියක් දාගෙන මෙලෝ වැඩකට නැති අයට පඩි ගෙවාගෙන නඩත්තු කරන්නේ ??
මෙතුමාගේකාර්යාලය කල්ලාරු රක්ෂිතය ලගම පිහිටෙවුවනම් මේක කරගන්න තිබුනා