(සුජිත් හේවාජුලිගේ, රෝෂන් තුෂාර සහ ගයාන් සූරියආරච්චි)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවනු ලැබ සිටින රාජ බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මීට සුළු වේලාවක පෙර ඇතුළත් කරනු ලැබීය.

ආහාර වර්ජනයක් ඇරඹූ සලේ මහතා ශාරිරික සහ මානසික වශයෙන් බරපතළ ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස සලේ මහතාගේ නීති උපදේශක නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කරමින් ඊයේ ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීමෙන් පසු සලේ මහතා ජාතික රෝහලට යොමු කෙරුණු බව නීතිඥ අසිත් සිරිවර්ධන මහතා පැවසීය

සුරේෂ් සලේ මහතාට සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් පිරිසක් යොදවා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දිය හැකි සුදුසු රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බවත් නීතිඥවරයා අදාළ ලිපියෙන් ඉල්ලීම් කෙරිණ