දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරමින් රාජ්‍ය මුදල් කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මුදල් වර්ෂය ආරම්භයේ සිටම අමාත්‍යාංශ හා ආයතන තමන්ට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මාසිකව සමාලෝචනය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) රැස්වූ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.
වසර අවසානයේ භාවිත නොකළ මුදල්, ඊළඟ වසරට ගෙන යා හැක්කේ ණයවර ලිපි (LC) විවෘත කර ඇති ව්‍යාපෘති වැනි නිශ්චිත කොන්දේසි සපුරා ඇති අවස්ථාවලදී පමණක් බවත්, එසේ නොවන අවස්ථාවලදී අදාළ ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට නැවත යොමුවීම හේතුවෙන් ඊළඟ වසරේ අයවැයෙන් නැවත ප්‍රතිපාදන ලබා ගැනීමට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා පොත පදනම් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය සහ මහ කන්නයේ වී අස්වැන්න කළමනාකරණය කිරීම පිළිබඳව ද මෙන්ම ගබඩාවල ඉතිරිව ඇති වී තොග ඊළඟ මහ කන්නයේ අස්වැන්න ලැබීමට පෙර කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව විසින් පෙන්වා දෙන ලදී. වී තොග සහල් බවට පත්කර සුබසාධන වැඩසටහන් සඳහා යොදා ගැනීම හෝ සත්ව ආහාර ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා යොමු කිරීමේ විකල්ප පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
තවද, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බදු සහන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ආයෝජකයන්ට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වර්තමානයේ ආයෝජකයෙකුට ඉඩමක් ලබා ගැනීම සඳහා මාස 18ක පමණ කාලයක් ගතවීම ආයෝජන සඳහා බාධාවක් වී ඇති බැවින්, රජයේ ඉඩම් හඳුනාගෙන ඒවා ආයෝජන මණ්ඩලය හෝ විශේෂ ඉඩම් බැංකුවක් යටතට හෝ පවරාගෙන, ආයෝජන ප්‍රමාණය, රැකියා අවස්ථා සහ ජාතික ආර්ථිකයට සිදු වන බලපෑම පදනම් කරගනිමින් කඩිනමින් ඉඩම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.
මීට අමතරව ක්‍රිප්ටෝකරන්සි නියාමනය, රක්ෂණ හා ගනුදෙනු ක්ෂේත්රයේ ඩිජිටල්කරණය, සමුපකාර සංගම්වල VAT බදු ගැටලු සම්බන්ධ කරුණු ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
මෙම රැස්වීමට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත හා ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd