(අංජුල මහික වීරරත්න)

වැඩ කරන ජනතාවට ඇති ඕනෑම කම්කරු ගැටලුවක් නිර්නාමිකව වුවද ඉදිරිපත් කිරීමට පහසුකම් සලසන පැමිණිලි කළමනාකරණ පද්ධතියක් කම්කරු අමාත්‍යාංශය අරම්හ කළේය.

ඕනෑම කම්කරු පැමිණිල්ලක් ඔන් ලයින් මගින් කම්කරු දෙපාර්තමේනතුවට කඩිනමින් ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා දීමේ අරමුණ ඇතිව පැමිණිලි කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කළ බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණිලි කළමනාකරණ පද්ධතිය විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමින් පැවසීය.

නාරාහේන්පිට  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී  මෙය සිදු කෙරිණි.

මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතිය මගින් පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන ඕනෑම අයෙකුට සිය පැමිණිල්ල නිර්නාමිකව වුවද ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා දී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 

මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතිය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සෑම පැමිණිලිකරුවෙකුටම අංකයක් ලැබෙන බවත්  එම අංකය මගින් තමන් විසින් කරන ලද පැමිණිල්ලේ ප්‍රගතිය සොයා බැලීමේ පහසුව සලසා දී ඇති බව ද කම්කරු  අමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙතෙක් කලක් පැමිණිලි ඉදිරිපත් කිරීමට යාමේදී වැඩ කරන ජනතාවට විඳින්නට සිදුවූ විවිධ දුෂ්කරතා සහ රස්තියාදුව මේ නව ක්‍රමය නිසා අවසන් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.