(අංජුල මහික වීරරත්න)

කිසිවකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්  සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026  සමුළුවේ නායක සැසියට අද (19) අමතමිනි.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා තම රට AI යටිතල පහසුකම් දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙස බව පැවසීය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්‍ය නායක සැසියේ සමාරම්භක අවස්ථාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්‍රසීල ජනාධිපති ලූලාද සිල්වා සහ භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් ඊට එක් වූහ.

AI Impact 2026 සමුළුවට සමගාමීව නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හි දී සංවිධානය කර තිබු ප්‍රදර්ශනය නැරඹීමටද මෙහිදී රාජ්‍ය නායකයන් එක් වූහ.

මෙහිදී සමුළුවට එක්වූ සියලු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.