(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉටුකරන්නට අසමත් වී තිබෙනවා මෙන්ම  බදු දිනෙන් දින වැඩි කරන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"කාන්තා කොමිසමේ දීමනා සහ පඩි වැඩි කිරීම ගැන අපේ විරෝධතාවයක් නැහැ.ඔබතුමාලා ජනාධිපතිවරණයේදී රටේ හැම ගෙදරකටම පොත් පිංචක් බෙදුවා.උද්ධමනයට සාපේක්ෂව පඩි වැඩි කරන බව ඒ පොත් පිංචෙන් පැවසුවා.දැන් උද්ධමනය  සියයට දහයයි.සෙවනගල කර්මාන්ත ශාලාවේ ගෙවපු දීමනා අඩු කරලා. පඩිත් අඩු කරලා. ඒක වහලා දාලා.ගොවි ජනතාවගෙන් 150ට වී ගන්නවා කිව්වා. පොහොර වතුර ටික වෙලාවට දුන්නේ නෑ.හාල් ඇටයක් පිටින් ගේන්නෙ නෑ කියලා ජනාධිපතිතුමා කයිවාරු ගැහුවා.අන්තිමට මාස දෙකකට හරියන්න හාල් පිටරටින් ගෙනල්ලා.

ඒ වගේම එදා උපාධිධාරින් පැලවත්තට ගෙන්නලා 35000ටම එකවර රස්සා දෙනවා කිව්වා.අර පොත් පිංචත් බෙදුවේ ඒ අය ලව්වා තමයි.අවුරුදු 45ට වැඩි අය පනත් වෙනස් කරලා හරි ගන්නවා කිව්වා.නමුත් අද වෙන විට වෙලා තියෙන්නේ මොකක්ද?අද ඔවුන් දේශපාලනිකව පාවිච්චි කරලා අතහැර දමා තිබෙනවා.

9000 විදුලි බිල 6000 ට බස්සනවා කිව්වා.6000 බිල 4000 ට ගේනවා කිව්වා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකක්ද?6000 බිල 8000 ට ගිහින් තිබෙනවා.අඩු කිරීම කෙසේ වෙතත් වැඩි කරලා නම් තියෙනවා.

ඒ වගේම නැවෙන් බාන ගානට තෙල් දෙනවා යැයි පැවසුවා.ඇමතිට යන කොමිස් එක පැය විසි හතරෙන් නවත්වනවා යැයි කිව්වා.ඔබ තුමාලා එදා ආණ්ඩුව බාරගත්ත කාලෙටත් වඩා වැඩිපුර රුපියල් තිහක් අද බද්දක් ගහනවා.අත්‍යවශ්‍ය ආහාර වලට බෙහෙත් වලට වැට් බදු ඉවත් කරනවා යැයි කිව්වා.ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉටුකරන්නට ආණ්ඩුව අසමත් වී තිබෙනවා මෙන්ම බදු දිනෙන් දින වැඩි කරනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.