(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

කඩිගල්ල කන්ද නාය යාමේ අවදානමක් හේතුවෙන් කොළොන්න කොණ්ඩුගල ආශ්‍රිතව සහ බුත්කන්ද වසමට අයත්  ප්‍රදේශ දෙකක නිවාස දොළහක පදිංචිකරුවන් වහාම ඉවත්කළ බව කොලොන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ කමිටුව පවසයි.

පසුගිය දිනවල ඇතිවු තද වැසි නිසා කඩිගල්ල කන්ද මුදුනේ විශාල පැලුම් දක්නට ඇති බව ප්‍රදේශවාසීහූ කියති. අක්කර විස්සක පමණ ප්‍රදේශයක් මෙසේ ගිලා බැස ඇති අතර පැලුම් ආශ්‍රිතව මඩ වතුර ගලාගෙන එන බව ද ඔවුහු කියති.

මෙම නායයාමේ අවදානම් සහිත ප්‍රදේශය හරහා කොළොන්නේ සිට නෑදොල හරහා බුත්කන්ද දක්වා යන කාපට් මාර්ගය වැටි ඇති බව ද ප්‍රදේශවාසිහු කියති. ඇඹිලිපිටියේ සිට කොලොන්න, නෑදොල හරහා බුත්කන්ද දක්වා ලංගම බස් රථයක් දිනකට ගමන්වාර හතරක් පමණ  මෙම මාර්ගයෙන් යනඑන බව ද ගම්වැසියෝ කියති.

කොලොන්න සහ බුත්කන්ද ග්‍රාම නිලධාරී වසම්වල නිවාස වලට මෙම අවදානම බලපා ඇත. ඉවත් කළ පවුල්වල පුද්ගලයින් ඥාති නිවෙස්වල තාවකාලිකව නැවතී සිටිති. මේ වනවිට ඔවුන්ට රුපියල් දෙදහසක් වටිනා වියළි ආහාර මල්ලක් සහනාධාර ලෙස ලබා දි ඇත.