(ගයාන් සූරියආරච්චි)

පාකිස්ථානයේ කරච්ච් නුවර සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරායට ගෙන්වූ  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

ඇගලුම් ඇතුළු රෙදි ගෙන්වන මුවාවෙන් කිලෝවක පමණ ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් කුඩා කාඩ්බෝඩ් පෙට්ටිවල දමා තිබූ අතර ඒවා ඇග පිස්නා තුවාවල ඔතා ඉතා සූක්ෂම ලෙස මෙරටට ගෙන්වා ඇති බව පොලිසිය පවසයි.

කොළඹ වරයා සී.අයි.සී.ටී. අංගනයට පැමිණි නැවකින් එම කන්ටේනරය මෙරටට ගෙන්වා තිබූ අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා ඒ පිළිබදව විමර්ශනය සිදුකරන ලෙස එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාට දැනුම්දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට දන්වා තිබුණි.