(නිමන්ති රණසිංහ)

ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුමැතිය ලබාදීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ඉල්ලූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) නියෝග කළේය.

මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස අල්ලස් කොමිසම නම් කර සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් අල්ලස් ලබාගැනීමට අදාළව දුරකතන සංවාද හෝ වෙනයම් දෙයක් අල්ලස් කොමිසම සතුව නොමැති වීම හේතුවෙන් සැකකරු අල්ලස් ලබාගත් බවට එක්වරම නිගමනට එළැඹිය නොහැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළේය.

එමෙන්ම, අනෙක් සැකකරුවන් දෙදෙනාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සැකයක් උපදින බැවින් ඔවුන් ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණය නියෝග කළේය.

ඒ අනුව, මෙලෙස ඇප මත මුදා හැරුණේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වන තල්දූව, අවිස්සාවේල්ල පදිංචි සුපුන් ශෂීන්ද්‍ර පතිරගේ මහතාය. ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තලාහේන, මාලඹේ පදිංචි තෙල්ගම්පල රාළලාගේ මින්ද අනුරුද්ධ සහ රාජසිහ මාවත, සල්මල් උයන, පදිංචි කොම්පඤ්ඤගේ ටෙනිසන් ෆොන්සේකා යන අයවලුන්ය.