(විනීතා එම් ගමගේ)
 
පවතින කොවිඩ්-19 තර්ජනය හේතුවෙන්, කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා නොදමන බව එහි කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා ලංකාදීපයට අද(12) පැවැසීය.
 
මේ වන විට කම්හල් තුනකින් කොවිඞ් ආසාදිතයන් හමුවීම නිසා එම කම්හල් වසා දමා ඇතත් එයින් එක් ආසාදිතයෙකු පමණක් හමුවූ කම්හල හෙට(13) විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද අනෙක් කම්හල් දෙක තවත් දින කිහිපයක් වසා තබන බවත් ඔහු කියා සිටියේය.
 
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් 87 ක් ඇති අතර එහි සේවක සේවිකාවන් 36,000 ක් පමණ සේවය කරන බවත් මේ දිනවල පවතින ප්‍රශ්න හේතුවෙන් සේවයට පැමිණෙන්නේ 8,000 කට ආසන්න පිරිසක් පමණක් බවත් ප්‍රනාන්දු මහතා පැවැසීය.
 
විශේෂයෙන් ගම්පහ පොලිස් කොට්ඨාස කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීමත් හේතුවෙන් බොහෝ දෙනාට සේවයට පැමිණිය නොහැකි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
කෙසේ වෙතත් සීමිත සේවක සංඛ්‍යාවෙන් හෝ කම්හල් හැකි ප්‍රමාණයෙන් ක්‍රියාත්මක කරන බවත් මේ සම්බන්ධව කම්කරු අමාත්‍යංශයේ දී අද(12)  පැවති රැස්වීමේ දීද සාකච්ඡා වූ බවත් ප්‍රනාන්දු මහතා කීය.
 
අමාත්‍යවරයා ද අවධාරණය කළේ සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යායුතු බව යැයි ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කම්හල් පවත්වාගෙන යන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.