(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි තුනක්  වටිනා මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්  කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

මොහු කිරිපිටි පෙට්ටි තුළ සඟවා ගෙන , පාර්සල් දෙකක් ලෙස සකස් කර ඒවාද සිය ගමන් මල්ල තුළ සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය ගෙනැවිත් තිබුණි .

ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් මෙම පුද්ගලයා පැමිණ තිබුණි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .