(ඉන්දිකා රාමනායක)

ව්‍යාජ ලේඛණ සකස් කර නොර්වේ රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුගෙන් රුපියල් කෝටි 12 කට අධික මුදලක් බැංකු ගිනුම් 23කට බැරකරගෙන වංචා කළ යාපනය ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් ජාලගත අපරාධ කොටස්කරුවන් බවට සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැකකාරියන් යාපනය නාවත්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 34, 30 යන වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනකු බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ව්‍යාපාරිකයෙකු වන තම මියගිය පියාට අයත් රුපියල් කෝටි 100 ට අධික වටිනා මුදල් සහ රන් රන්භාණ්ඩ, විශාල ප්‍රමාණයක් පුද්ගලික බැංකුවක තැන්පත් කර ඇති බවත්. එම මුදල් සහ රන්භාණ්ඩ නීතිමය වශයෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමට යැයි පවසා සැකකාරියන් ඉහත මුදල ගෙන්වාගෙන වංචා කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නෝර්වේ රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයා සැකකාරියන් ගේ මෙම වංචාවට හසු වී 2021 වසරේ ජනවාරි මස සිට ජුලි මස දක්වා කාලය තුළ වරින් වර මෙම මුදල් එවා ඇති බවත් බැංකු ගිණුම් 23 ක ට එම මුදල් බැර කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැකකාරියන් එම මුදල් ලබාගෙන ඒවා වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තමන් මෙම සැකකාරියන් ගේ වංචාවට හසුව ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව නෝර්වේ රාජ්‍යයේ පදිංචි පුද්ගලයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.