(නිමල් ජයරත්න)

පොලොන්නරුවේ ගම් රැසකට දරුවවෝ පාසල් බසයක් නොමැතිව දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටිති.

වැලිකන්ද, මදුරංගල, මලින්ද, සුසිරිගම, යන ගම්මානවල පාසල් දරුවන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට 2011 වසරේ සිට පාසල බස් රථයක් නොමැතිකම නිසා තම දරුවන්ට පාසල වෙත අත්ට්‍රැක්ටරයෙන් යෑමට සිදුව තිබේ.  

මෙම ගම්මානවල පාසල් දරුවන් සෙවණපිටිය, වැලිකන්ද, මනම්පිටිය, යන විද්‍යාලවලට ගමන කරන අතර ඔවුන්ට තම ගම්මානවල සිට සෙවනපිටියට යෑමට මාසිකව එක්දරුවකු වෙනුවෙන් මවුපියන්ට රුපියල් තුන්දාහක මුදලක් අත්ට්‍රැක්ටර් රියදුරුට ගෙවීමට සිදුවන බවද මවුපියන් ප්‍රකාශ කරති.

පොලොන්නරුව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් 2011 වසරට පෙර පාසල් සිසුන් පාසල වෙත ප්‍රවාහනය කළ අතර ඉන් අනතුරුව එම බස් රථය නතර වීමෙන් පසු කිසිදු ප්‍රවාහන පහසුකමක් නොලැබීමෙන් තම දරුවන් වන අලි තර්ජන මැද පාසල් වෙත යැවීමට සිදුව ඇති බවද මවුපියන් පවසති.

පවුල් දාහකට ආසන්න සංඛ්‍යාවකගේ දරුවන් දෙසීයක් පමණ මෙම ගම්මානවල සිට සෙවනපිටිය, මනම්පිටිය, වැලිකන්ද යන විද්‍යාලවලට ගමන් කරන අතර ඒ සදහා බස් රථයකින් ගමන් කරන්නේ නම් මාසික වාර ප්‍රවේශ පත්‍ර සඳහා අවශ්‍ය වන්නේ රුපියල් 800 ක මුදලක් බවත්, ඒ වෙනුවට රුපියල් 3000 ක මුදලක් එකදරුවකු වෙනුවෙන් අත්ට්‍රැක්ටර්යට ගෙවීමට සිදුව ඇති බවද මවුපියන් සඳහන් කරති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පොලොන්නරුව ඩිපෝ අධිකාරී ඩී.ඒ. ප්‍රේමසිරි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම ගම්මාන සඳහා යෙදවීමට ප්‍රමාණවත් තරම් බස්රථ නොමැතිකමත්, රියදුරන් සහ සේවකයන් නොමැතිකමත් එම ගැටළුවට ප්‍රධාන හේතුව බවයි.