(විමුක්ති එස් රුද්‍රිගු)

පුද්ගලයකු මියගොස් විනාඩි 30 කට පසු නැවත ජීවතුන් අතරට පැමිණි පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම පුද්ගලයා භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන 65 හැවිරිදි මහේෂ් බගේල් නම් දේශපාලනඥයෙකු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.

මහේෂ් බගේල් මහතාගේ හදවතේ ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඔහුව අග්‍රා නගරයේ පුෂ්පාන්ජලී රෝහලට ඇතුළත් කර ඇත. එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඉන්ද්‍රීයන් අකර්මණ්‍ය වීම නිසා වෛද්‍යවරු මහේෂ් බගේල් මහතා මියගිය තැනැත්තෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රෝහලේ වෛද්‍යවරුන් බගේල් මහතාගේ මරණය තහවුරු කිරීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් අවසන් කටයුතු සිදු කිරීම සඳහා බගේල් මහතාගේ දේහය නිවසට ගෙන විත් ඇති අතර නිවසට පැමිණ පැය භාගයකට පමණ පසු නිසල දේහයේ අතපය සෙලවෙන අයුරු පවුලේ සාමාජිකයකුට දැක ගැනීමට හැකි වී ඇත.

ඉන් කම්පාවටත් සතුටටත් පත් මහේෂ් බගේල් මහතාගේ පවුලේ සාමාජිකයන් නැවතත් ඔහුව අග්‍රා හි පිහිටි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.එහිදී බගේල් මහතා ජීවතුන් අතර බව වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත.