(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් (Anticipatory Crisis Governance) ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරිණි.

විරුද්ධ පාර්ශ්වයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රැස්වීමේ ප්‍රධාන විශේෂඥ කරුණු දැක්වීම සිදු කළ බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළ සාගර විද්‍යාව පිළිබඳ වින්ත්‍රොප් මහාචාර්ය චරිත පට්ටිආරච්චී මහතා, දේශගුණික අවදානම් හමුවේ කල්තියා සූදානම් වීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ආදර්ශය ද මෙහිදී සාකච්ඡා වූ අතර, 2019 වසරේ සුළි කුණාටුවකදී පැය 24ක් තුළ පුද්ගලයන් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට එම ප්‍රාන්තයට හැකි වූ බව පෙන්වා දෙන ලදී.

අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින්, දේශගුණික තත්ත්වයන් හමුවේ අලි-මිනිස් ගැටුම තීව්‍ර විය හැකි බැවින් ප්‍රජා මූලික විදුලි වැටවල්, කන්නයට අදාළ කුඹුරු වැටවල්, වනජීවී වාසස්ථාන සහ ජල කළමනාකරණය ඇතුළු කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.