(රෝෂන් තුෂාර)

එයාර් බස් ගනුදෙනු නඩුවේ වරෙන්තු ලද  සැකකාරියකව දැනට ඕස්ට්‍රේලියාවේ සිටිනවා යැයි කියන  "ප්‍රියංකා නියෝමාලි "ට ඇප තැබූ  හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30)නියෝග කළේය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බැවින් ඇපකාරීත්වයෙන් මුදා හරින්නැයි අරවින්ද සිල්වා මහතා  කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව රුපියල් මිලියන 40ක  ඇප මුදල අධිකරණයේ තැන්පත් කිරීමෙන් අනතුරුව ඇපකාරීත්වයෙන් මුදා හැරීමට නියෝග කළේය.

රුපියල් මිලියන 40 ඇප මුදල රාජසන්තක කිරීමට පෙර සහනයක් සලසන ලෙස ඇපකරුවන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය මුල පටන්ම අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඇප මුදල සංශෝධනය කිරීමට නොහැකි බව පෙන්වා දුන්නේය.

ඇපකරුවන් වෙනුවෙන්  නීතිඥ ශාලික ගුණවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරියගේ සැමියා වන  මෙම  නඩුවේ පළමු සැකකාර   කපිල චන්ද්‍රසේන මිය යාමෙන් පසුව සැකකාරිය මෙරටට පැමිණීමට බියක් දක්වන බැවින් ඇපකරුවන්ට ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි  බවය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ සැකකාරිය පළමු සැකකරු මිය යෑමටත් පෙර අධිකරණය මග හැර සිටි තැනැත්තියක බවය. එබැවින් ඇප මුදල සංශෝධනය කරන ලෙස කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

ඇපකරුවන් වන අරවින්දි සිල්වා මහතා හා ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක ඇපකරුවන් දෙදෙනාගේ  රුපියල් මිලියන හතලිහක ඇප මුදල රාජ සන්තක කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මිලියන 20ක් ඊයේ දිනයේ ගෙවීමට අවසර දුන්නේය. ඉතිරි මුදල ලබන 14 දින අධිකරණයට තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන්  සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක මුදලක්  ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන  සැකකාර   මියගිය  කපිල චන්ද්‍රසේන සැකකරුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත්   වීම හේතුවෙන් මෙසේ ඇප මුදල රාජ සන්තක කර ඇපකාරීත්වයෙන් ඉවත්වීමට අවසර ලබා දුන්නේය.